Home » බිම වැටී සිටි මල්ලීගේ හිසෙන් කනෙන් ‍ලේ ගැලුවා රෝහලට ගෙන ගියත් බේරගන්න බැරිවුණා
වතුර ටැංකිය තබන්න හැදූ කොන්ක්‍රීට් කණුව කඩාවැටී පාසල් සිසුවකු මියයෑම:

බිම වැටී සිටි මල්ලීගේ හිසෙන් කනෙන් ‍ලේ ගැලුවා රෝහලට ගෙන ගියත් බේරගන්න බැරිවුණා

මරණ පරීක්ෂණයේදී වැඩිමල් සොයුරිය සාක්ෂි දෙයි

by gayan
September 7, 2024 1:00 am 0 comment

කරාපිටිය සමූහ - එස්. ලොකුකරවිට

“වතුර ටැංකිය තියන්න හදලා තිබුණු කොන්ක්‍රීට් බීම් එකේ ඔන්චිලි පැද පැද හිටපු මල්ලී බීම් එකත් එක්කම ඇදවැටී සිටියා. මල්ලීගේ හිසෙන් සහ කනෙන් ‍ රුධිරය ගලා තිබුණා. ඉක්මනට රෝහලට ගෙනගියත් මල්ලී බේරගන්න බැරිවුණා ” යැයි පසුගිය 4වැනිදා අනතුරකට ලක්ව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සය හැවිරිදි පාසල් සිසුවකුගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඇගේ වැඩිමහල් සොයුරිය පැවසුවාය.

මෙලෙස මියගොස් ඇත්තේ නෙළුව, මංගලපුර, පැන්නවිල ලිපිනයේ පදිංචිව සිටි කනගරාජා ධනුක නමැති මණ්ඩලපුර කනිටු විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. මේ සිද්ධිය සම්බන්ධ මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ දී පෙරේදා (05) රෝහලේ මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී.

එහිදී සාක්ෂි දෙමින් මියගිය දරුවාගේ සොයුරිය වන කනගරාජා කුමුදුනී (19) මෙසේ ද කීවාය.

“මියගොස් සිටින්නේ මගේ බාල මල්ලී. මා විවාහකයි. මට අවුරුද්දක් වයස දරුවෙක් සිටිනවා. මේ දවස්වල තාත්තා බදුල්ල පැත්තේ නැවතිලා වැඩ කරනවා. සිද්ධිය වුණු ඊයේ (04)අම්මා ගෙදර හිටියේ නැහැ. ඇය රට යන පුහුණු වැඩසටහනකට කොළඹ ගියා. මියගිය මල්ලීත් ඊයේ පාසල් ගියේ නැහැ. මල්ලීත් මමත් මගේ දරුවත් විතරයි ගෙදර හිටියේ. අපේ ගෙදර වතුර ටැංකිය කලින් තියලා තිබුණේ කොන්ක්‍රීට්වලින් හදපු ඇටවුමක් උඩ. ඒකේ ලෑලි දිරලා නිසා දැන් වතුර ටැංකිය බිම තියලා තිබෙනවා. මේකේ කොන්ක්‍රීට් කණු උඩ හරහට කොන්ක්‍රීට් කඳක් දාලා තිබුණා. එය සවි කර නැතුව නිකම්ම කණු උඩ තියලා තිබුණේ. මේක අඩි හයක් විතර උසයි. මල්ලී ඊයේ සවස තුනට විතර මේ කොන්ක්‍රීට් ක‍ඳේ එල්ලිලා ඔන්චිලි පැද පැද හිටියා. මම එයාට බහින්න කියලා කිව්වට ඇහුවේ නැහැ. ටික වේලාවකට පසු මම මගේ දරුවා සෝදවන්න ගේ පිටුපසට ගියා. එවෙලේ මට ලොකු සද්දයක් ඇහුණා. මම දුවලා ගිහින් බලන විට කොන්ක්‍රීට් කඳට යටවී මල්ලී වැටී සිටියා. ඔහුගේ ඔළුව බිම තිබුණ කොන්ක්‍රීට් කඳක වැදී තුවාල වී ලේ ගලමින් තිබුණා. මල්ලීට සිහිය තිබුණේ නැහැ. ඔහුගේ කනෙන් සහ නාසයෙනුත් ලේ ඇවිත් තිබුණා. මම කෑ ගහනකොට අහල පහල අය ඇවිත් මල්ලී ඔසවා ත්‍රීවීලරයක දමාගෙන හිනිදුම රෝහලට ගෙනගියා. මල්ලී එතැනින් උඩුගම රෝහලටත් කරාපිටිය රෝහලටත් එදිනම මාරු කර යවා තිබුණා. අම්මා කොළඹ සිට කරාපිටිය රෝහලට ඇවිත් තිබුණා. රෝහලේදී මල්ලීගේ හිසේ සැත්කමක් කර දැඩි සත්කාරයට දැමූ බව අම්මා කිව්වා. 05වැනිදා අලුයම 1.30ට පමණ මල්ලී මියගිය බව දැනගත්තා.”

පශ්චාත් මරණ පරීක්ෂණය කළ ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුෂාහැන්නදි මහත්මියගේ වාර්තාවට අනුව මෙය අනතුරෙන් හිස් කබලට සහ මොළයට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් වූ මරණයක් බවට මරණ පරීක්ෂක ලොකුගේ මහතා තීන්දු කළේය. හිනිදුම පොලිසිය මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT