කුඩා වගා ළිඳකට වැටී සිටි වන අලි පැටියකු ඉන් ගොඩගැනීමෙන් පසුව අසල සිටි කාන්තාවක හා දරුවකු හඹා යෑම නිසා වනජීවී නිලධාරීන් විසින්ම අලි පැටියා වෙඩි තබා මරා දමා ඇති බවට තොරතුරු වාර්තා වූ බව මහව මූලස්ථාන පොලිසිය කියයි.
මේ දිනවල මහව කොහොඹකඩවල ප්‍රදේශය වන අලි සැරි සරන බවත්, එම රැලෙන් ගිලිහී ගිය පැටියකු කුඩා වගා ළිඳකට වැටීමෙන් පසු බේරාගැනීමෙන් අනතුරුව මේ සෝචනීය ඉරණමට පත්ව ඇති බව ගම්මු කියති.
වෙල්යාය මැද තිබූ කුඩා ළිඳකට මේ වනෙ අලි පැටියා වැටී සිට ඇති අතර, බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඔහු ගොඩ ගැනීමට කටයුතු කළ බවත් ගොඩට පැමිණි අලි පැටවා වයස අවුරුදු තුනක පමණ දරුවකු වඩාගෙන සිටි කාන්තාවක පිටුපස හඹා යෑම නවතා ගැනීමට නොහැකි වූ බවත් පවසන වනජීවී නිලධාරීහු වන අලියා හා කාන්තාව අතර දුර මීටරයක් තරම් වත් නොතිබූ නිසා ජීවිත දෙකක් බේරාගැනීමේ අරමුණින් වෙඩි තැබූ බව සඳහන් කරති.
පොල් කටුවාවත්ත, මහව ප්‍රදේශයේ පදිංචි සිද්ධියට මුහුණ පෑ කාන්තාව දුරකතනය ඔස්සේ තම අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි:
“වගා ළිඳට අලියෙක් වැටිලා කියලා ආරංචි වුණා. හැමෝම අලියා බලන්න යනවා කියලා ගියා. ඒ හින්දා මමයි අම්මයි අවුරුදු තුනක දරුවයි වඩාගෙන අපි තුන් දෙනාම ගියා. අපි යනකොට වන ජීවි එකේ මහත්තුරු එකතු වෙලා බැකෝ එකක් යොදාගෙන අලි පැටියා ගොඩ ගන්න ලෑස්ති වෙලා හිටියා. මුලින්ම වනජීවී එකේ මහත්තුරු කිවුවා කාටවත් වළ දිහාට එන්න එපා කියලා. හැමෝම ඈතට වෙලා යන්න කියලා එළෙවුවා. මගේ ගෙවල් මේ පැත්තෙ නෙමෙයි. මම මීට පෙර මේ වගේ සිද්ධියක් වැඩිය දැකල නැති නිසා මට බලන්න ආස හිතිලා තමයි මම දරුවත් වඩාගෙන අම්මත් එක්ක ගියේ. අපි වනජීවී වාහනයට මුවාවෙලා හිටියා. ටික වේලාවක් යන කොට වනජීවී වාහනය පැත්තට අලි පැටියා දුවගෙන එනවා දැක්කා. වාහනේ ළඟ ඉන්න එපා ඉස්සරහ ගෙදරට දුවන්න කියලා කිවුවා. මමයි දරුවයි දෙන්නම රතු පාට ඇඳුම් ඇඳගෙන හිටියේ. ඒ නිසා වෙන්නැති අපි පසු පස්සෙන්ම පැන්නුවේ. මගේ පසුපස්සෙන් පන්නන නිසා මම වනජීවී සර්ලා ඉන්න පැත්තට දිවුවා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. සර් එක පාරක් වෙඩි තිබ්බා. ඊට පස්සේ වන අලියා කෑගහගෙන ආයෙත් මගේ පැත්තට එන්න ආවා. වන ජීවි මහත්තයා වෙඩි තිබ්බේ නැත්නම් මටයි මගේ දරුවටයි අද ජීවිත දෙක අහිමි වෙනවා පුදුම මාරකයකින් තමයි මමයි දරුවයි බේරුණේ.”
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පශු වෛද්‍ය නිලධාරී ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදි.
මහව – සංජීවනී ආරියරත්න