ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ගොඩනැඟෙන අශුද්ධ සන්ධානය පරාජය කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බවත් ඊළඟට පත්වෙන ආණ්ඩුව සියලු දේශපාලන පක්ෂවල එකමුතුවෙන් සෑදෙන ජාතික ආණ්ඩුවක් විය යුතු බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
ජාතික ජන බලවේගය නමින් සළුවක් පොරෝගත් මේ අශුද්ධ සන්ධානය පරාජයට පත් කළ යුතුම බවත් කී ඒ මහතා, නිදහසින් පසු බිහි වූ ආණ්ඩු කිසිම වැඩක් නොකළ බව කිසිවෙකුටත් කිව නොහැකි බවත් කීවේය.
කොළඹදී ඊයේ (06) පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.
එක පැත්තකින් ආණ්ඩු පිහිටවන්නත්, අනෙක් පැත්තෙන් ආණ්ඩුවට බාධා කරන විනාශකාරී දේ සිද්ධ කරන එක මේ අයගේ පුරුද්දක්. තනතුරු පසුව බෙදාගන්න පුළුවන්. මුලින්ම රට ආරක්ෂා කර ගත යුතුයි.
මෙතන විශාල අනතුරක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය කියලා වෙනත් සළුවක් පොරවාගෙන ඉදිරියට ඇවිත් ගෙවුණු 75 වසරක් තුළ මෙරට ආණ්ඩු කරපු කිසිම නායකයෙක් රටට කරපු දෙයක් නැහැයි සමාජගත කිරීමේ උත්සාහයක නිරත වෙනවා.
තමන්ගේ දේපළ පවා පරිත්‍යාග කරමින් ජනතා සේවයේ යෙදුණු, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආදිය රටට දායාද කළ අතීත නායකයන්ට මේ ප්‍රකාශ නිසා අපහාස සිදු වෙනවා.
ජනාධිපතිවරණයට තියෙන්නේ දින 15යි. අපි තෝරාගත්තේ, පහුගිය කාලේ තිබුණ අර්බුදයෙන් රට මුදවා ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තේ අනිත් අපේක්ෂකයින්ට වඩා පහුවෙලා. ඒත් අද වෙනකොට කෙමෙන් එතුමාගේ ජනප්‍රියභාවය වැඩි වෙනවා. අපේ බලාපොරොත්තුව ජනාධිපතිතුමා පිළිබඳ සමස්ත ජනතාවගේ තිබෙන මතය ඡන්ද පෙට්ටියට ගෙනත් එතුමාව ඡන්දෙන් ජයග්‍රහණය කරවලා මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමයි. මගේ දිස්ත්‍රික්කය අද වෙනකොට ජයග්‍රහණයේ මාවතට ඇවිත්. සමහර වෙලාවට ජයග්‍රහණයේ කකුලෙන් අදිනවා වගේ එකක් පේනවා. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ගොඩනැඟෙන අශුද්ධ සන්ධානයක් තියෙනවා. ඒ අශුද්ධ සන්ධානය පරාජය කරන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙළට කකුලෙන් අදින්න එපා. ඒ වැඩපිළිවෙළ ශක්තිමත් වෙන්න ඕනෙ. මෙවැනි වෙලාවක අඩුපාඩු සිද්ධ වෙනවා නම් ඒක කනගාටුදායක කරුණක්.
අනෙක් අපේක්ෂකයන් ගැන ජනාධිපතිතුමා කතා කරන්න ඕනේ නැහැ. සමස්ත මහජනතාව අනෙක් අපේක්ෂකයන් ගැන දන්නවා. එක පැත්තකින් මේ අශුද්ධ සන්ධානය පරාජය කරන්න ඕනේ. මේ කණ්ඩායම් දෙක, සජිත් ප්‍රේමදාස මහත්තයාට සහ ජනාධිපතිතුමාට උදව් කරන කණ්ඩායම් දෙක එකතු වෙන්න කියලා මම කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පරාජයට පත්වුණා. ඒත් අද ජනතා විමුක්ති පෙරමුණ ජනතා නිදහස් සන්ධානය කියලා වෙනත් සළුවක් පොරවාගෙන ඉදිරියට ඇවිත් තියෙනවා. මොවුන් ඉතිහාසයේ මේ රටේ ආණ්ඩු කරපු කිසිම නායකයෙක් ගෙවුණු වසර 75ක කාලය තුළ රටට කරපු දෙයක් නැහැ කියලා මේ රටේ ජනතාවගේ ඔළුවට දාලා.
වසර හැත්තෑ පහක් ආණ්ඩු කරපු සියලු දෙනා රට විනාශකාරී තැනකට රට ගෙන ගියා කියලා ඔවුන් ඒත්තු ගන්වනවා. අපේ රටේ සමහර දේශපාලනඥයෝ හිටියා ඔවුන්ගේ සියලු දේපළ ජනතාව වෙනුවෙන් කැපකළා. අන්තිමට කිසිම දෙයක් නැතිව අවසන් ගමන් ගියා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය දිනාදුන්නා. ඇයි ඒ මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන්නේ. 1970 පීටර් කෙනමන්, කොල්වින් ආර්. ද සිල්වා, එන්.එම්. පෙරේරා වගේ නායකයෝ සිරිමාවෝ බණ්ඩාරනායක එක්ක එකතු වෙලා සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටෙව්වා. ඒ වුණාට අවුරුද්දක් ඇතුළත කැරැල්ලක් මෙහෙයෙව්වා. මෑත කාලයේ හදන හැම ආණ්ඩුවකම ඔවුන්ගේ කාර්යභාරයක් තිබුණා. 2015 මෛත්‍රී ආණ්ඩුව පිහිටුවන්න ඔවුන් දැවැන්ත සහයෝගයක් දුන්නා. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට උදව් කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ අවුරුදු එකහමාරක් තිස්සේ මැති ඇමැතිකම් කළා. මේ ප්‍රවාහය තුළ ජනතා විමුක්ති පෙරමුණ හිටියේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ.
88/89 මේ රටේ තරුණ පිරිස හැටදහසක් ඝාතනය වුණා. ඒකට මූලිකව වගකිව යුතු තැන ජනතා විමුක්ති පෙරමුණත් හිටියා. 1971දී ප්‍රජාතන්ත්‍රවාදීව ගොඩනැඟුණු ආණ්ඩුවට විරුද්ධව කටයුතු කළා. එක පැත්තකින් ආණ්ඩු පිහිටුවන්නත්, ආණ්ඩුවට බාධා කරන විනාශකාරී දේවලුත් මේ රටේ සිද්ධ කරන එක මේ අයගේ පුරුද්දක්.
අනුර කුමාර දිසානායක මැතිතුමා ණය ගැන කතා කරන ආකාරය අපි දැක්කා. මුලින් කිව්වා ඩොලර් බිලියන 44යි මේ රටේ ණය. මේ ණය ගෙවන එක කජ්ජක්, කූඹියෙක් ඉස්සරහ තියෙන දිය බින්දුවක්, මහා සාගරයක් වගේ කූඹියට පේනවා. ඒක නිසා මේ ණය ගෙවනවා කියන එක මහලොකු දෙයක් නෙමේ. අපි ආවට පස්සේ මේ ණය ගෙවනවා. ණය ගෙවන සිස්ටම් එක අපි ළඟ තියෙනවා. අපිට අයි එම් එෆ් එක ඕනේ නෑ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන නැහැ. ණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සමස්ත වැඩපිළිවෙළම අසාර්ථකයි. ඊට වඩා සාර්ථක වැඩපිළිවෙළක් අපට තියෙනවා. කියපු නායකයා දැන් කියනවා අයි එම් එෆ් එක එක්ක යන්න ඕනේ කියලා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ, ණය ගන්න රටවල් එක්ක සාකච්ඡා කරන්න ඕනේ කියනවා. මොකක්ද මේ පරස්පරතාවය. එතනින්ම පේනවා වැඩපිළිවෙළක් නැති බව.
ඔවුන්ට තියෙන්නේ එක වැඩපිළිවෙළයි. ජනාධිපති ධුරයට පත්වෙනවා, පාර්ලිමේන්තු විසුරුවනවා, සංස්ථා සභාපතිවරුන්ගේ ඉඳලා ඉවත් කරලා ජනතාවට ආශ්වාදයක් දෙනවා ඇර වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා වෙන්නේ නැහැ. භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැනත් ඒ ගොල්ලන්ට පරස්පරතාවයක් තියෙනවා.
ඒ අය පාර්ලිමේන්තුව තුළ බලයක් ගත්තොත් ඉස්සරහට යන වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. හැම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම කතා කරලා තිබ්බට ඒ අය හැමදාම කරලා තියෙන්නේ උඩින් පල්ලෙන් අතගෑමක්. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් තිබුණා. පරණ ඇඳුම අරගෙන ගිහිල්ලා අලුත් ඇඳුම ගන්න, මඟුල් ගෙයක් නම් මඟුල් ගෙදරට ආරාධනා කරන ප්‍රමාණය, ඒකට දාන බල්බ් ප්‍රමාණය ආදී ලෙස හැම ක්ෂේත්‍රයක් ගැනම සමාජවාදී කඳවුරු එක්ක බද්ධ වුණු වැඩපිළිවෙළක් තිබුණා. අද මෙතන සමාජවාදයත් නෑ, ප්‍රජාතන්ත්‍රවාදයත් නෑ, වැඩපිළිවෙළකුත් නැහැ. සහනත් දෙනවා, පඩි වැඩි කරනවා, බදු අඩු කරනවා. නමුත් ආදායම් උපදා ගන්න හැටි සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ. ණය ගෙවීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ. සහන දීමේදී එතනින් එහාට ඒ වැඩපිළිවෙළට මුදල් හොයාගන්න හැටි නැහැ. මේ රටේ ජනතාව තව තවත් මේ මුළා කරනවා.
ඒ අය පහුගිය දවස්වල රාජ්‍ය සේවය පිළිබඳව නම් විශාල ලෙස කතා කරා. ඒ අය හිතාගෙන හිටියා සියයට සීයක් රාජ්‍ය සේවකයෝ ඒ අය සමඟ ඉන්නවා කියලා. සමස්ත රාජ්‍ය සේවයෙන් සුළුතරයයි ඒ අයට ඡන්දය දීල තියෙන්නේ. බහුතරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ පිළිබඳව සාධනීයව හිතල ඡන්දෙ භාවිත කරලා තියෙනවා. ඊළඟට පත්වෙන පාර්ලිමේන්තුව සියලු දෙනාගේ එකමුතුවෙන් සෑදෙන ආණ්ඩුවක් වෙන්න ඕනෑ. අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඒ පක්ෂයට බහුතර බලයක් ඇවිත් ආණ්ඩුවක් හැදුවා කියමු. සමගි බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ සියල්ල ඉන්නේ ආණ්ඩුවෙන් එළියේ. එතකොට වෙන්නේ ඔවුන්ට විරුද්ධව විරුද්ධ පක්ෂය කටයුතු කරන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවක් හැදුවත් ඒ ආණ්ඩුවට විරුද්ධව විශාල පිරිසක් එළියේ ඉන්නවා. වැඩක් කරගන්න දෙන්නේ නැතුව කකුලෙන් අදිනවා. මේක ඉදිරි කාලයේදී මේ රටෙන් නැතිවෙන්න ඕනෙ.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපි කියන්නේ ජාතික ආණ්ඩුවක් හදන්න. ජනතා විමුක්ති පෙරමුණේ අයත් එකතු කර ගන්න. ඒකට මේ අශුද්ධ සන්ධානය එකතු කර ගැන්න බැරි නම් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකක් වෙන රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන කණ්ඩායම හා සමගි ජන බලවේගය එකතු වෙන්න. ජනතා විමුක්ති පෙරමුණ එක්ක ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ දිනන්න හදන්නේ පරළු පාන් ගෙඩියකට අයිසින් දාලා. ඒ අයිසින් ටික තමයි මේ එකතු කර ගන්න හදන්නේ. ඒ අය වෙනත් සළුවක් පොරවගෙන වැරදි මතයක් ජනතාව අතට ගෙනියනවා. ඒකයි අශුද්ධ සන්ධානයක් කියන්නේ. ඒ අශුද්ධ සන්ධානය පරාජය කළ යුතුමයි. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තියෙනවා. ඒ වැඩපිළිවෙළ පරාජයට පත්කරන්න එපා කියලයි මම පාර්ලිමේන්තුවේදි කිව්වේ. මිනිස්සුන්ගේ ඔළුවලට දාලා තියෙන්නේ විෂබීජ නැති කරන්න නම් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකක් වෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනික ප්‍රවාහය සහ සජිත් ප්‍රේමදාසගේ ප්‍රවාහය එකතු වෙන්න කියලයි මම කිව්වේ.