රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට කිසිම තේරුමක් නැති හෙයින් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා පැමිණියත්, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පැමිණියත් අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත තවත් මැතිවරණයකට යාමට සිදු වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රටේ අනාගතය තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතේ බවත් ශ්‍රමය සහ ශක්තිය යොදවා ඒ මහතාගේ ජයග්‍රහණය තහවුරු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවති එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සර සැමරුම් උත්සව අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා
අද එක්සත් ජාතික පක්ෂයට සුවිශේෂී දිනයක්. අවුරුදු 78කට පෙර මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා ඇතුළු අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කරපු නායකයින් කීපදෙනෙක් එකතුවෙලා, මේ රටේ සියලුම ජාතීන් එකමුතු කිරීමේ අරමුණින්, අලුත් පක්ෂයක් බිහි කළා. ඒ එක්සත් ජාතික පක්ෂයයි. එදා ඉඳන් එක්සත් ජාතික පක්ෂය මේ රටට කරපු දැවැන්ත සේවය, ඒ පක්ෂය තුළින් බිහිවුණු දැවැන්ත නායකයන් අපි කවුරුත් දන්නවා. ඒක අලුතින් මතක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් අද මේ සංවත්සරය අපි ගන්නේ ජනාධිපතිවරණයක් මැදයි. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට වුවත් ඒ අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමායි. එතුමා මේ රටට කළ සේවය ගැනත්, එතුමා පසුගිය අවුරුදු දෙකහමාරේදී මේ රටට කරපු විශාල ආර්ථික පරිවර්තනය ගැනත් අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ යුතුකම තමයි මේ දවස් ටිකේම කැපවෙලා මහන්සිවෙලා අපේ නායකතුමාව මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරවන එකයි. එතුමා නැවත වාරයක් මේ රටේ ජනාධිපති හැටියට පත් කරමු. ආරංචි හැටියට තැපැල් ඡන්දවලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියෙන්ම ඉන්නවා. මේකෙන් පේනවා මැතිවරණය යන්නෙ මොන අතටද කියලා. මේ සති දෙකේ අපි මහන්සිවෙලා පුළුවන් තරම් අපේ ශ්‍රමය ශක්තිය යොදවලා අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්න අවශ්‍යයි. මොකද මේ රටේ අනාගතය තියෙන්නේ එතුමාගේ අතේයි. වෙන කවුරු ආවත්, අපි දන්නවා අනුර කුමාර දිසානායක මහත්මයා ආවත් සජිත් ප්‍රේමදාස මහත්මයා ආවත් අපිට තව අවුරුද්දකින් දෙකකින් මැතිවරණයකට යන්න වෙනවා. මොකද ඒ දෙපළටම මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න කිසිම තේරුමක් නැහැ.
ඒ නිසා අපේ එක්සත් ජාතික පක්ෂය හැටියට යුතුකම තමයි අපේ නායකතුමාව ජයග්‍රහණය කරගෙන, ආපහු අපේ පක්ෂය හදලා ඉදිරියට යාම. ඓතිහාසික පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ කාලයේදී වගේ, ශක්තිමත්ව ඉදිරියට යන්න අවශ්‍යයි. මේ රටට ලොකු අවශ්‍යතාවක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ. ඒක මේ දවස්වල පන්සල්වලට ගිහිල්ලා නායක ස්වාමීන් වහන්සේලා බැහැදැකලා කතාකරනකොට, මහානායක ස්වාමීන් වහන්සේලා කියන්නේ එක්සත් ජාතික පක්ෂය නැවත අපට අවශ්‍යයි කියලා. රටට ලොකු අවශ්‍යතාවක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය. අපි මේ දවස් ටිකේ මැතිවරණයට කැපවෙලා, ජයග්‍රහණය කරාට පස්සේ අපේ සංවිධානය තවත්, දිනෙන් දින ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. අපේ පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කරපු ඔබ සියලු දෙනාම, අපේ සියලුම පාක්ෂිකයන්ට මාගේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරනවා. මොන අභියෝග තිබුණත් අපේ පක්ෂය ආරක්ෂා කරනවා. පක්ෂයේ කොඩිය ඔසවාගෙන ඉදිරියට යනවා. එනිසා මේ අවස්ථාවේදී අපේ පක්ෂය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන සියලු දෙනාටම මගේ ගෞරවය ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම අපේ පක්ෂය වෙනුවෙන් වැඩ කරපු නායකවරු, සංවිධායකවරු ඒ සියලුම දෙනාව මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා. සිරිකොතේ ඉන්න සියලුම නිලධාරීන්ටත් සේවක මණ්ඩලයටත්, විශේෂයෙන්ම පසුගිය කාලයේ තිබූ විවිධ අභියෝගයන් මධ්‍යයේත්, අදත් මේ පක්ෂයේ වැඩ කටයුතු කරගෙන ඉදිරියට යන සියලුම දෙනාට මාගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා දැක්වූ අදහස් මෙසේය.
1946 ෆාර්ම්කෝට් මන්දිරයේදී ආරම්භ කරපු එක්සත් ජාතික පක්ෂය, ඉතා ශක්තිමත්ව මේ රටට විශාල වැඩ කොටසක් කරපු පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය වැටුණහම රටත් වැටුණා. එක්සත් ජාතික පක්ෂය නැගිට්ටහම රටත් නැගිට්ටා. 1970 UNP එක වැටුණා. රට වැටුණා. 77 එක්සත් ජාතික පක්ෂය ආවහම රට ඉස්සරහට ආවා. 94 එක්සත් ජාතික පක්ෂය නැතිවුණාම, 2001 වෙනකොට ආණ්ඩුව වැටිලා ඍණ ආර්ථිකයක් ආවා. 2001 ආණ්ඩුව අරගෙන ධන ආර්ථිකයක් කරලා එක්සත් ජාතික පක්ෂය රට ශක්තිමත් කළා. වැටිලා තිබ්බ රට 2015 ආපහු එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කළා. 2022 රට වැටුණා. එක්සත් ජාතික පක්ෂය වැටුණා. ආපහු එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රට භාරගත්තහම ආපහු රට ඉදිරියට ගියා. එනිසා මේ රටට එක්සත් ජාතික පක්ෂය රටට කරපු සංවර්ධනය අතිවිශාලයි. හැමදාම එක්සත් ජාතික පක්ෂයට මතයක් තිබුණා. ඒ මතය තමයි හැමදාම ඉස්සරහට ආවේ. මේ සැරේ එක ආසනයක් අරගෙනත් එක්සත් ජාතික පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේත් මතය, දර්ශනය, වැඩපිළිවෙළ ජයග්‍රහණය කරපු නිසා තමයි එතුමා අගමැතිවරයා වෙලා ජනාධිපතිවරයා වෙන්නේ. අද 78 වන සංවත්සරය අපි සමරන්නේ. මට මතකයි 50 වැනි සංවත්සරය සමරපු දවස. 50 වැනි සංවත්සරය සමරන කොට මම විශ්වවිද්‍යාලයටවත් ගිහින් තිබුණේ නෑ. මට වාසනාව ලැබුණා යෝජනාව ගේන්න. පක්ෂ යෝජනාව ගේන්න. ඒක තිබුණේ ටවුන් හෝල් එකේදී. එදා ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා හිටියා. ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා හිටියා. අවුරුදු 28 කට ඉස්සෙල්ලා.
ඒ නිසා එක්සත් ජාතික පක්ෂය අලුත් වෙමින්, අලුත් අයට තැන දෙමින් ඉස්සරහට ආපු පක්ෂයක්. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ බර කරට අරගෙන මේ රට ගොඩදාලා. අද ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට මේ මැතිවරණයට තරග වදිනවා. අපි හැමෝගෙම වගකීම එතුමා ජයග්‍රහණය කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ කැපවීම දෙන එක. එතුමා ජයග්‍රහණය කළොත් විතරයි මේ රටට අනාගතයක් තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා විතරයි අලුතින් හිතන්නේ. අනාගතය ගැන කතා කරන්නේ. ඉදිරිය බලලා සැලසුම් සකස් කරන්නේ. අනිත් ඔක්කොම සාම්ප්‍රදායික දේශපාලනය කරන්නේ. අනිත් ඔක්කොම යට ගියාව කතා කරනවා විතරක් නෙමෙයි. මතයක් නෑ. දර්ශනයක් නෑ. වැඩපිළිවෙළක් නෑ. නිකන්ම නිකන් විවේචන කරමින් දේශපාලනය කරන බවක් තමයි පේන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේදී හොඳ අනාගතයක් තියෙනවා. මේක ගොඩක් වෙලාවට වැටුණා. නැගිට්ටා. වැටුණා. ඒ වගේම කිසි දවසක නැති කරන්න පුළුවන් වුණේ නෑ කාටවත්. ඒ තරම් ප්‍රබල වෙලාවක ආරම්භ කරපු පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය.
මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවි කරුණානායක, භාණ්ඩාගාරික ෆේරෝස්, හිටපු ඇමැති ජෝන් අමරතුංග, හිටපු ඇමැතිනී සුනේත්‍රා රණසිංහ ඇමැතිවරිය, සිරිකොත මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.