රුපියල් දසදහසක් ඉල්ලා එය නොදුන්නැයි උරණ වී අසූ හැවිරිදි කාන්තාවකගේ කරාබු යුගළය කොල්ලකා, ගෙල පාදයෙන් සිරකොට මුහුණ කොට්ටයකින් වසා හුස්ම සිරකොට ඝාතනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පෙරේදා (5) නියෝග කළාය.
මෙසේ බන්ධනාගාර ගත කරන ලද්දේ නවගත්තේගම, මාකොළගම, අංක 28හි පදිංචි දිසානායක මුදියන්සේලාගේ මංජුල මදුශංක දිසානායක නමැති (30) හැවිරිදි අවිවාහකයෙකි. මෙම සැකකරු කොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක සේවයට වසරකට පමණ පෙර සිට පැමිණි පුද්ගලයෙකි. ඔහු බ්ලොක් ගල් නිෂ්පාදනය කරමින් සිටින අතරතුරදී ඉකුත් 1දා නිවෙසට යන බව පවසා නිවාඩු ගෙන සේවා ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ. පසුව මෙම සැකකරු ඉකුත් 2දා උදෑසන යළි කොට්ටාව, මාලඹේ පාරේ හතරමං හන්දිය ආසන්නයේ පිහිටි හාම්පුතාගේ නිවෙසට පැමිණ එහි හුදෙකලාව සිටි අසූ හැවිරිදි කාන්තාවගෙන් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල ලබා නොදීම නිසා ඇය පැලඳ සිටි කරාබු යුගළය ගලවා ගැනීමට උත්සාහ කර තිබිණ. පසුව එය ව්‍යර්ථ වීම හේතුවෙන් කාන්තාව බිම දමා ගෙල පාදයෙන් පාගාගෙන කොට්ටයකින් මුහුණ වසා හුස්ම හිර කොට ඝාතනය කොට කරාබු යුගළය ගලවාගෙන ගොස් හෙට්ටිවීදියේ පිහිටි අලෙවිසලකට රුපියල් 5,000කට විකුණා ඇති බව පැවසේ.
ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන නවගත්තේගම ප්‍රදේශයට ගොස් එහි නිවෙසක රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන මෙසේ ඉදිරිපත් කළ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබේ. පසුව සැකකරු කොල්ල කෑ කරාබු යුගළය හෙට්ටිවීදියේ අලෙවිසලකින් පොලිස් භාරයට ගත් බවත්, කාන්තාව ඝාතනය කිරීම සඳහා හුස්ම හිර කිරීමට භාවිත කළ බව පැවසෙන කොට්ටය හා ඔහු භාවිත කළ බෑගයක් ද පොලිස් භාරයට ගත් බවත් පොලිසිය පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 19දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය. මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව, මාලඹේ පාර, අංක 720 හි පදිංචි දෝන ලීලා අබේරත්න නමැති (80) හැවිරිදි එක්දරු මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක චතුරංග මහතාගේ මෙහෙයවීමෙන් පො.කො. 73034 ලක්මාල්, 21340 පුෂ්පකුමාර, 9968 සේනාරත්න, 92852 නන්දන, 94036 විජේසිංහ, 99136 රංජිත්, 99619 දිසානායක, 101997 රත්නායක, පො.කො.රි. 89877 මදුශංක ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කොට පරීක්ෂණ පවත්වති.