Saturday, May 3, 2025
Home » ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ‘ඒ’ සිව්දින සටන හෙට ඇරඹේ

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ‘ඒ’ සිව්දින සටන හෙට ඇරඹේ

by gayan
September 7, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර
එක්දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (8) කිම්බර්ලිහිදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම් සිව්දින තරගාවලියකින් හමුවන්නේ වසරකට පසුවය. පසුගිය වසරේ මෙරටදී දෙපිල අතර තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලියක් පැවති අතර, එහිදී පළමු තරගය ලකුණු 160කින් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල 1 – 0ක් ලෙස සිව්දින තරගාවලියේ ජය හිමි කර ගත්තේය.

මේ සංචාරයේදී දෙපිල අතර තරග 3කින් සමන්විතව පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා පිල මේ තරගයට ජයග්‍රාහී මානසිකත්වයකින් එක් වනු ඇත.

එම තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවූ පසිඳු සූරියබණ්ඩාර මේ තරගාවලියේදීත් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට නියමිතය. මේ සිව්දින තරගාවලියට ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර, එක්දින තරගාවලියට එක් නොවූ ඕෂද ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, නිෂාන් පීරිස්, ඉසිත විජේසුන්දර, විෂාඩ් රන්දික සහ ජනිත් ලියනගේ මේ තරගාවලියට එක් වනු ඇත.

නායක පසිඳු සූරියබණ්ඩාර එක්දින ශූරතා කුසලානය ලබාගත් අයුරු.

නායක පසිඳු සූරියබණ්ඩාර එක්දින ශූරතා කුසලානය ලබාගත් අයුරු.

එක්දින තරගාවලියේදී සංචිතයේ සිටි කමිල් මිෂාර, සහන් ආරච්චිගේ, දුෂාන් හේමන්ත, චමිඳු වික්‍රමසිංහ සහ කවිඳු නදීෂාන් මේ තරගාවලියට නම් කර නැත.

ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින සංචිතය – පසිඳු සූරියබණ්ඩාර (නායක), ළහිරු උදාර, පවන් රත්නායක, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්, නිෂාන් පීරිස්, වනුජ සහන්, ඉසිත විජේසුන්දර, ඒෂාන් මාලිංග, ඕෂද ප්‍රනාන්දු, විෂාඩ් රන්දික, ජනිත් ලියනගේ, දිනුර කළුපහන.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT