Sunday, May 11, 2025
Home » වතු කම්කරුවන් රැකියා විරහිත තරුණයන් කුඩා තේ වතු හිමියන් කරනවා

වතු කම්කරුවන් රැකියා විරහිත තරුණයන් කුඩා තේ වතු හිමියන් කරනවා

-සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

by sachintha
September 10, 2024 3:27 am 0 comment

තමා 21 වැනිදා ජයග්‍රහණයත් සමඟ නුවරඑළියට එන්නේ ලැයිම් කාමරවල සිටින වතු කම්කරු ජනතාව සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පෙරේදා (08) නුවරඑළියේදී පැවති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජයග්‍රහණය සමඟ පළමු පියවර ලෙස තරුණ පරපුර වෙනුවෙන් අලුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇති කර නුවරඑළිය දිස්ත්‍රික්කය දියුණු වන දිස්ත්‍රික්කයක්, ශක්තිමත් දිස්ත්‍රික්කයක් බවට දියුණු කරනවා. වතු ප්‍රජාවට වසර 200කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය තුළ වතු ජනතාවගේ දහඩිය වගුරුවා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දුන් දායකත්වය සහ ශක්තියට අපි ගෞරව කරනවා. ස්තූතිවන්ත වෙනවා. වතු ජනතාව සියලුම දෙනා මේ රටේ එක හා සමාන පුරවැසියන් ලෙස අපි පිළිගන්නවා.

වතු ප්‍රජාව නියෝජනය කරන දේශපාලනයට සුදුසු නියෝජනයක් දෙන්න අපි කටයුතු කරනවා. වතු ප්‍රජාවට ඉඩමක, නිවෙසක අයිතිය අපි අනිවාර්යයෙන්ම දෙනවා. ඒ අයිතිය අපි තහවුරු කරනවා. වතු ප්‍රජාව වෙනුවෙන් වෙනමම උදා ගම්මාන වැඩසටහනක් ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. වතු ප්‍රජාවට ඉඩමක අයිතිය දී වතු ප්‍රජාවට සහ තරුණ ප්‍රජාවට වගා ඉඩමක හිමිකම දී කුඩා තේ වතු හිමියන් ලෙස ජන සමාජයේ ජීවත්වන්න ඉඩ දෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය පෙර පාසලේ සිට දියුණු කරනවා. අධ්‍යාපනය සඳහා යටිතල පහසුකම් සහ මානව සම්පත දියුණු කරනවා. නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවගේ දු දරුවන්ට අගනා අධ්‍යාපනයක් දෙන්න අපි කැප වෙනවා. දමිළ මාධ්‍ය පාසල් පද්ධතිය ඇතුළු සෙසු පාසල් සියල්ල ශක්තිමත් කරනවා. වෙනමම ජාතික පාසල් පද්ධතියක් ආරම්භ කරනවා. ඒ යටතේ දමිළ මාධ්‍ය ජාතික පාසල් ස්ථාපනය කර ඒ වැඩපිළිවෙළෙන් ජාති ආගම් භේදයකින් තොරව සියලුම ජනතාවගේ දු දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනඟන්න කටයුතු කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරනවා.

ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කර තරුණ ප්‍රජාව දැනුමෙන් සන්නද්ධ කරනවා. හෙද ක්ෂේත්‍රයේ පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරම්භ කරනවා. තරුණ පරපුරට ව්‍යවසායකත්වය හරහා ඔබගේම ව්‍යාපාර ගොඩනඟන්න සමාජ, ආර්ථික, දේශපාලන සවිබලගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රශ්න විසඳුණේ නැති ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. බෝපත්තලාව, මැණික්පාලම ඇතුළු රජයේ ගොවිපොළවල සේවය කරන සේවක ප්‍රජාවගේ අයිතීන් අපි සුරක්ෂා කරනවා.

21 වැනිදා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙලා නුවරඑළියට එන්නේ තැපැල් කාර්යාල විකුණන්න නෙවෙයි. ලැයිම් කාමරවලට සීමා වූ කම්කරු ප්‍රජාවටත්, රැකියා විරහිතව සිටින නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාවට තේ වගා ඉඩමක අයිතිය දී කුඩා තේ වතු හිමියන් ලෙස අපේ රටේ තේ නිෂ්පාදනයට තේ වතුවල අයිතිය දෙන්න. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයේ නියැළෙන ජනතාවක් සිටිනවා. කෘෂි කර්මාන්තය ශක්තිමත් කරන්න අපි විශේෂ වැඩසටහනක් ආරම්භ කරනවා. සුහුරු කෘෂි කර්මාන්තයෙන් විවිධ භෝග වගා කරන ගොවි ප්‍රජාව දියුණු කරනවා. කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට දෙනවා. අපි පොහොර මිටිය 5000ට දෙන්න යෝජනා කළා විතරයි, ආණ්ඩුව පොහොර මිටිය රුපියල් 4000ට දෙනවා කියලා කියනවා. අපි කියන කියන දේ ජනාධිපතිවරයා දැන් කිය කිය යනවා. නමුත් මේ ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා, ඔහු පරාජය වෙනවා කියලා. අනුර සහ රනිල් එකතු වෙලා විවිධ මාධ්‍ය භාවිත කරමින් සජිත් ප්‍රේමදාස පරාජය කරන්න විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ රටේ ලක්ෂ 220ක් ජනතාව සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය දිනවන්න තීන්දුව අරගෙන අවසන්. රටේ දැවැන්තම සංවර්ධන යුගය බිහි කරන්න මේ මස 21 වැනිදා සියලුම දෙනාම එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

සුජීව සේනසිංහ මහතා

“මේ රට නැවත විනාශ කරන්න අනුර කුමාරටත්, ගෝලයන්ටත් මේ රට භාර දෙන්න ජනතාව සූදානම් නෑ. රට වැටෙන්න දෙයක් නෑ. අන්තයටම වැටිලා තියෙන්නේ. 1977ට පස්සේ මේ රටට බිහිවෙන දක්ෂතම කැබිනට් එක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් 21 වැනිදා ජයග්‍රහණයෙන් පසු නිර්මාණය වෙනවා.

ලක්ෂ 80ක් අරගෙන අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර් පවත්වනවා. මේ රටේ බලවත්ම ආණ්ඩුව හදලා ඔබතුමන්ලා සුරක්ෂිත කරනවා. මේ රටට කර්මාන්ත 800ක් අවුරුදු එක හමාරක් ඇතුළත ගේනවා. එයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා ප්‍රශ්නය විසඳන්න කර්මාන්ත ශාලා 20ක් දෙනවා කියලා පොරොන්දු වෙනවා.

ඔබතුමන්ලාගේ නිවාස ප්‍රශ්නය අවුරුදු ගාණකින් විසඳී නෑ. මේ රටේ අවාසනාවන්ත පිරිසක් බවට වතුකරයේ ජනතාව පත් වුණා. අපේ ඇ‍ඟේ දුවන්නේ ඩී. එස්., ඩඩ්ලි, ජේ. ආර්, ප්‍රේමදාස වැනි නායකයන්ගේ ලේ. මේ රට සංවර්ධනය කරන්න පුළුවන් ලේ. අවුරුද්දක් වැනි කෙටි කාලයකින් ඔබතුමන්ලා බලාපොරොත්තු වන සංවර්ධනය කරා ගෙන යන්න පුළුවන් බව කියන්න කැමැතියි.”

මනෝ ගනේෂන් මහතා

“අපේ අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා සමඟ ලිඛිතව එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒකේ තියෙන්නේ අපට වරදාන වරප්‍රසාද නෙවෙයි, ජනතාවගේ අභිලාෂ ඉටු කිරීමයි. සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනය යටතේ අනෙක් ජනතාව හා සමානව ජීවත් වීමට අවස්ථාව උදා වෙනවා. තමන්ගේ ජීවනෝපාය වන කෘෂි කර්මාන්තය නඟාසිටුවීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. වගා ඉඩමක අයිතිය දී කුඩා තේ වතු හිමියන් දක්වා අවතීර්ණ වීමට අවස්ථාව උදා කර දෙනවා.”

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා

“රටේ පුංචි මිනිස්සු වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ එකම රාජ්‍ය නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා පමණයි. පුංචි මිනිස්සු වෙනුවෙන් ඒ මහතා ගම්උදා නිර්මාණය කළා. ජනසවිය දුන්නේ පුංචි මිනිස්සු වෙනුවෙන්. දිවා ආහාරය දුන්නේ පුංචි මිනිස්සු වෙනුවෙන්. කර්මාන්ත ශාලා නිර්මාණය කළේ පුංචි මිනිස්සු වෙනුවෙන්. ඒ මහතාගෙන් පස්සේ පුංචි මිනිස්සු ගැන හිතපු රාජ්‍ය පාලකයෙක් හිටියේ නෑ. රටේ පුංචි මිනිස්සු වෙනුවෙන් පුංචි මිනිස්සුන්ගේ යුගය නිර්මාණය කරන්න සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටිනවා.

නුවරඑළිය දිස්ත්‍රික් නායක මයන්ත දිසානායක මහතාද මෙහිදී අදහස් දැක්වීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT