Thursday, May 15, 2025
Home » මහපොළට 7500ක් ශිෂ්‍යාධාරයත් 6500ක් වෙයි

මහපොළට 7500ක් ශිෂ්‍යාධාරයත් 6500ක් වෙයි

මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා 2500කින් ඉහළට

by sachintha
September 11, 2024 1:04 am 0 comment

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත් ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. මීට පෙර මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 5000කුත් ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 4000කුත් හිමිව තිබිණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නැති බව ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් ඇමැති මණ්ඩලයේ අවධානය යොමු කර තිබෙන බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

2015න් පසු මෙම ශිෂ්‍යාධාර මුදල් වැඩි වුණේ නැතත් මෙම කාලයේ ඉතා විශාල වශයෙන් භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවත් 2022 වර්ෂයේ සිදු වූ ආර්ථික කඩා වැටීමත් සමඟ මේ සම්බන්ධයෙන් ඉල්ලීම් රැසක් ලැබුණු බවත් ඇමැතිවරයා පැවැසීය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT