Home » ආසියානු සංවර්ධන බැංකුවෙන් දෙන ඩොලර් මිලියන 400 යේ ඉතිරි 200ත් ලැබෙයි
මූල්‍ය ක්‍රියාකාරකම් සාර්ථකයි

ආසියානු සංවර්ධන බැංකුවෙන් දෙන ඩොලර් මිලියන 400 යේ ඉතිරි 200ත් ලැබෙයි

by sachintha
September 11, 2024 12:49 am 0 comment

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය පහසුකම ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023-09-25 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, 2023 දෙසැම්බර් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී ඇති බව හෙතෙම කීවේය.

එහි දෙවන උප වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12ක් සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතින බව ඒ මහතා කිය සිටියේය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ගුණවර්ධන මහතා කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

මූල්‍ය ක්‍රමයේ ස්ථාවරය නැති වුණොත් සමස්ත රටවැසියාගේ තැන්පත් ආරක්ෂා කරලා බැංකු හා මූල්‍ය ආයතන බිඳ නොවැටෙන ආකාරයට ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයන් යටතේ කටයුතු කිරීමේ පිරිවැය අධික තාක්ෂණික යෙදවුම් සහිත වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එහිදී ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලංකා ආණ්ඩුව ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් පසු විවිධ ව්‍යාපෘති සඳහා ආධාර සපයනවා සහනදායී පොලියට සහ පොලියට. එහිදී අප විසින් සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා පිළිබඳ නියමයන්, කොන්දේසි ඉදිරිපත් කරනවා. එම නියමයන් 12ක් ඉදිරිපත් කරලා බොහෝමයක් දැනට සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ නිසා මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා අනුමැතිය ලැබුණා. ඒ අනුව මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400ක මූල්‍ය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙනවා.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT