දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ව්‍යුහාත්මක මිනුම් දණ්ඩක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට උපකාර වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්මක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් සකස් කර 2024 අගෝස්තු මාසය අවසන් වන විට ඇමැති මණ්ඩලය මඟින් අනුමත කර තිබීම අවශ්‍ය වන බව හෙතෙම කීවේය.
ඒ අනුව, 2025-2027 කාලසීමාව සඳහා සකස් කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් අනුව අපට අනාගත ඉලක්කයන් ලබා දී තිබෙනවා. ඒ අනුව රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 15ක් හෝ ඊට වඩා වැඩි මට්ටමකින් පවත්වාගෙන යෑම අනිවාර්ය වෙනවා. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රේගු, සුරාබදු දෙපාර්තමේන්තු ආදායම් උපදවන ආයතන ඒකාබද්ධ කර ඩිජිටල්කරණය තුළින් වඩා වැඩි ආදායම් ඉලක්කයක් කරා ළඟා වෙන්න පහසු වෙනවා. ඒ සඳහා ආදායම් උප්පාදන මාර්ගවල තිබෙන මූල්‍ය හිඩැස් වසා දමලා ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුම බව මූල්‍ය අරමුදලේ කොන්දේසි තිබෙනවා. එම කොන්දේසි ඉටු කිරීම සඳහා ඩිජිටල්කරණ යෝජනාවට අනුමැතිය හිමි වුණා.
නුවන් කොඩිකාර