Saturday, May 10, 2025
Home » ජවිපෙ-පෙරටුගාමී ගැටුමෙන් ජ’පුර සරසවිය වසා දමයි

ජවිපෙ-පෙරටුගාමී ගැටුමෙන් ජ’පුර සරසවිය වසා දමයි

සියලු සිසුන්ට පරිශ්‍රයෙන් පිට වෙන්න නියෝග

by mahesh
September 13, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (11) රාත්‍රියේ හටගත් ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් පිරිසක් සහ කලා පීඨයේ පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ සිසුන් පිරිසක් අතර පෙරේදා (11) සවස් කාලයේ ඇති වූ යම් මතගැටුමක් දුරදිග යෑමෙන් මේ ගැටුම හටගෙන ඇතැයි වාර්තා වේ.

විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට තිබූ කලා උලෙළක් මුල් කරගෙන මේ මත ගැටුම හටගෙන ඇති අතර එම උලෙළ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මේ පහරදීම සිදු කර ඇතැයි වාර්තා වේ. සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය ඊයේ (12) තීරණය කළැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පත්මලාල් එම්. මානගේ මහතා ‘දිනමිණට’ ඊයේ (12) පැවසීය. ඒ අනුව සියලු සිසුන්ට ඊයේ (12) සවස 6 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව යන ලෙස දැනුම් දුන් බව ද හෙතෙම කීවේය. එම ගැටුම්කාරී තත්ත්වය දුරදිග යෑම වැළැක්වීමත් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් හේතුවෙන් පාලනාධිකාරිය මෙසේ විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ බවත් ලබන සතියේ සිසුන්ට ලබාදීමට නියමිතව තිබූ නිවාඩුව ඒ අනුව ඊයේ (12) සිට ලබා දුන් බවත් හෙතෙම පැවසුවේය.

මේ තත්ත්වය සමනය වීමෙන් හා ජනාධිපතිවරණයෙන් පසුව නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කරන දිනය දැනුම් දෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT