Saturday, May 10, 2025
Home » නිශ්ශබ්ද විලියම්ගේ අවසන් සද්දය

නිශ්ශබ්ද විලියම්ගේ අවසන් සද්දය

by mahesh
September 13, 2024 1:00 am 0 comment

පෙරේදා සීතාට නව රාජ්‍ය ඇමැතිකමකි. තලතා ගිය ඉරිදා සජබයේ සිට රනිල්ගේ වේදිකාවට ආවාය. පොහොට්ටුවේ සිට ගෑස් සිලින්ඩරයට නැඟි ගීතා, දැන් සජබය පැත්තේය. ගීතා, සීතා සහ තලතා, දේශපාලනය කලතා ඇති වුවද මේ ජනාධිපතිවරණයේදී අපට කාන්තා නියෝජනයක් නැත්තේය. එහෙම කියා වැළලීමට හේතුවක් නැත. කමලා හැරිස් ලෝක පාලනය භාර ගැනීම සඳහා නාමයෝජනා ලබාදී ඇත්තේ හෙයින්, මෙහේ මිස්ලාට වැඩේ මිස් වුවද ඒ ඇරියස් ලෝක පරිමාණයෙන් කවර් කර ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත්තේය.

අපේක්ෂිකාවක් නැති අඩුපාඩුව ඇත්තේ වුවද තිස් අටක් ඉදිරිපත්ව සිටින්නේ හෙයින් ‘ගණනින් මහත්’ ඡන්ද පත්‍රිකාවක් තව දින අටකින් අප අතට ලැබෙනවා ඇත. දේශපාලන කඳවුර කුමක් වුවත් සමාජ මාධ්‍යයේ නොසණ්ඩාලකම් හැරුණු කල මෙවර ජනාධිපතිවරණය සෑහෙන දුරට, හරි පාරේ යන්නේය. සටන සඳහා ප්‍රවිෂ්ටව ඇත්තේ අපේක්ෂකයෝ හතරක් හෝ පහකි. ඔවුහු සිය නාමයෝජනාව වෙනුවෙන් වැර වෑයමක නිරත වන්නෝය. එහෙම තිබියදී නාමයෝජනා ලබා දුන් දහ නවයක්, තවම සටනේ ඇත්තේ නැත.

පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චිගේ නිරීක්ෂණය අනුව මේ දහ නවය නාම යෝජනා ලබාදීමෙන් පසු ඒ සඳහා වන කිසිදු කර්තව්‍යයක නියැළී නැත්තාහ.

එහෙම ගත් විට මෙවර අපේක්ෂක ලිස්ට් එක විස්සකට සීමා කරගත හැකිව තිබුණි. රටේ ජාතික ධනය මේ ආකාරයට අපතේ යැවීමේ නොතිත් ආශාව ඇතිව නාමයෝජනා ලබාදුන් සියලු දෙනා වෙත යම් ආකාරයක චෝදනාවක් ගොනු කළ යුත්තේමැයි, මේ තීරුව දැඩි ස්ථාවරයක සිටින්නේය. රටේ නායකයා තෝරන ඡන්දය වූ කලී කාගේ හෝ රැඟුම් මණ්ඩලයක් නොවිය යුත්තේමැය.

නිශ්ශබ්ද විලියම් ලෙස යමෙක් හැඳින්වූ කල, එයින් ප්‍රකටව යන්නේ, හෙතෙම අහිංසක පැත්තට බර බවය. එක් දහස් නවසිය හැට ගණන්වල පෙළ පොතක මාතෘකාවක් ලෙස මෙය පැවතියේ බැවින් ඔය නාමකරණය එම පරම්පරාවේ කාටත් කටපාඩම්ය. ඒ අර්ථය ඇතිව මේ දහ නව දෙනා ද ‘නිශ්ශබ්ද විලියම්’ ලෙස සමහර විට හැඟී යා හැකිය.

විලියම් ද සයිලන්ට් හෝ විලියම් ද ටැසිටර්න් යනුවෙන් හඳුන්වන්නේ නෙදර්ලන්තයේ ජීවත්වූ රාජ කුමාරයෙකි. හෙතෙම ඒ කාලයේ ඔරේන්ජ් කුමාරයා ලෙස ද විරුදාවලි ලබා සිටියේය. ස්පාඤ්ඤ හබ්ස්බර්ග්වරුන්ට එරෙහි ලන්දේසි කැරැල්ලේ නායකයා වූයේ මේ නිශ්ශබ්ද මහතාය. අවුරුදු අසූවක් පුරා පැතිර ගිය ඒ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස නෙදර්ලන්ත ජනරජය උපත ලබන්නේය.

ඔහුගේ දේශපාලන ජීවිතය ඒ තරමට ගොරහැඩිය. පෞද්ගලික ජීවිතයේ ද විවාහ හතරකි. මියයන්නේද ඝාතනය වීමෙන් මිස ස්වාභාවිකව නොවේ.

විලියම් ප්‍රකටව ඇත්තේ කතා අඩු යන අර්ථයෙන් නිසා ඔහුගේ අවසාන කතාව ලෝක ප්‍රකට වී ඇත්තේය. හෙතෙම ඝාතනයෙන් මියයෑමට මොහොතකට පෙර තෙපලා ඇත්තේ “මාගේ දෙවියනි, මාගේ ආත්මයට අනුකම්පා කළ මැනව, මාගේ දෙවියනි, මේ දුප්පත් මිනිසුන්ට අනුකම්පා කළ මැනව” යන්නය. විලියම්ගේ ආත්මය සඳහා දේව අනුකම්පාව ශේෂ පත්‍රය බලා කියා උන් වහන්සේ ලබා දෙනවා ඇත.

මේ තීරුවේ අද මාතෘකාව සඳහා පාදක වනුයේ විලියම්ගේ අවසාන වදන්හි ඉතිරි කොටසය. රට තිබූ හැටි ගැන බොහෝ දෙනාට මතක නැත්තේය. අතීතය ඒ සම්බන්ධයෙන් ඒ ආකාරයේ නිශ්ශබ්දතාවයක සිටින්නේ නම් වර්තමාන බංග්ලාදේශය දෙස බලා, වසර දෙකහමාරකට ‘පෙර තිබූ රට’ මතක් කර ගත හැක්කේය.

ජනතාව සඳහා සහන ලබාදී ඇත්තේ හෙයින් ආර්ථික ප්‍රතිලාභ සමාජයට කාන්දු වී ඇත. එහෙත් ණය බර ආදිය පෞද්ගලික ලෙස සෑම පවුලකටම දැනෙන්නේය. බිල් කිහිපය ගෙවා දමා ගෙදරට අවශ්‍ය අඩුවැඩිය ගෙන ආ කල, මාසයේ පඩිය වාෂ්ප වී ඇත. උන්න හැටියට මේ නම් මඟුල් ගෙයක් වගේය. එසේ වුවත් අපේ ජීවිත සහ රටේ රටාව තාම ඇත්තේ හොඳ තැනක නොවේය.

හැම ඡන්දයකින්ම දිනන දෙජාතියක් සිටිති. එකක් ඡන්දයෙන් පත්වෙන කෙනා සහ එම පාර්ශ්වයය. මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වූ වහා පාරට පැන රතිඤ්ඤා පත්තු කරන්නේ මේ ආකාරයට ඡන්ද ප්‍රතිඵල නිකුත්වූ පසු දිනන පාර්ශ්වයය. හැම ඡන්දයක් සඳහාම නාමයෝජනා ලබාදී, ප්‍රතිඵල නිකුත් වීමට පෙර ජයග්‍රහණය කරන පාර්ශ්වයක් සිටින්නේය.

ඒ රාජ්‍ය සේවකයාය. ඒ ජයග්‍රහණය හෙතෙම අත්පත් කර ගන්නේ තැපැල් ඡන්දයට ද පෙරය. සෑම මැතිවරණයකටම පෙර බලයේ සිටින ආණ්ඩුව පඩි වැඩි කිරීමක් රාජ්‍ය සේවකයන් සඳහා ලබා දෙන්නේය. ඒ ගණන් හිලව් බලා අනෙකුත් අපේක්ෂකයෝ සහ පක්ෂ ද ඊට වැඩි ප්‍රමාණයකින් ‘අපි බලයට ආ පසු’ ලබා දෙන්නේ යැයි පොරොන්දු දෙන්නේය. මේ ආකාරයට රාජ්‍ය සේවකයා හැම ඡන්දයකින්ම දිනන්නේ වුවද පෞද්ගලික අංශයේ එකාට කිසිම වාසියක් ඇත්තේ නැත. එකම කඩෙන් බඩු ගන්නා දෙපිරිසට දෙවිදිහකට මේ ආකාරයට සැලකීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ ආරෝවක් නැතත්, කනගාටු සිතක් සැමදාම තිබුණේය.

ඊයේ දිනමිණ සිය මුල් පුවත පළ කර තිබුණේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙනි. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත් කිරීම යනු මේ රටේ සාතිශය බහුතරයක් වූ තැළෙන පෙළෙන කම්කරු දනන් වෙනුවෙන් ගන්නා ලද අනභිභවනීය තීරණයකි. දුප්පත් මිනිස්සුන්ට අනුකම්පා කළ මැනව යැයි ඔරේන්ජ් කුමාරයාගේ අවසන් වචන මේ සමඟ ගැළපිය හැක්කේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT