‘අපේ ඉස්කෝලේ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ක්‍රිස් ඇන්තනිගේ දෙවැන්න, PASSPORT ඔක්තෝබර් 4 දා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත කෙරේ. ඉකුත්දා කොළඹදී මාධ්‍ය දර්ශනය පැවැති එහි ඉදිරි කටයුතු පිළිබඳ අපි දැන් ඔහුත් සමඟ කතාබහ කරමු.
ඔබ මෙය දැවැන්ත නිර්මාණයක් විදිහට හඳුන්වා දී තිබුණා. ඇයි ඒ ?
මං හිතන්නේ මං කිවුවාට විතරක් වැඩක් වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටය නරඹන්න ඕනෑ. එවිට ඒ අයටම ඒ වග තීරණය කරන්න පුළුවන්. මං අධ්‍යක්ෂවරයා විදිහට මේ වෙනුවෙන් අපේ කණ්ඩායම කළ කැපකිරීම, වෙහෙස සහ වියදම් ආදිය ගැන සිතා බලලායි, එහෙම හඳුන්වා දුන්නේ.
PASSPORT රටවල් 4ක රූගත කළා. ඒ, ඉතාලිය, ඔස්ට්‍රියාව, ඉන්දියාව හා මෙරටයි. ඉතාලියේ ඉතා ජනාකීර්ණ සහ සංචාරක ආකර්ෂණයෙන් ඉහළම වැනීසිය, කොලෝසියම, පීසා කුලුන ආශ්‍රිතව චිත්‍රපටයක් රූගත කිරීමට එරටින් අවසර ගැනීමේ සිටම දුෂ්කරතා මැදින් අපි කටයුතු කළේ. ඒත්, අපි ඒ උත්සාහය සාර්ථක කර ගත්තා. අනෙක, මහ මුහුද මැද රූගත කිරීම් සඳහා අපි මහ දියඹටම ගියා. ඒ උත්සාහය, කැපකිරීම ගැන අපි මෙහෙම කිවුවාට විතරක් වැඩක් නැහැනේ, ඒ ගැන ප්‍රේක්ෂකයාගෙන් තමයි යමක් කියවෙන්න ඕනෑ.
පාස්පෝට් නම ගැන කිව්වොත් ?
ඒ රට රටවලට ඇතුළු වෙද්දී අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් විතරක් නෙවෙයි, විදේශිකයන්ට නොමිලයේ ඇතුළු වන්නට වීසා දී තිබෙන රටවලට යද්දී වුණත් අනිවාර්යයෙන්ම කවුරුන් ළඟත් තිබිය යුතුම දෙයක්නේ, මෙතැනදී ඒ ඇසුරින් අපි ගමට යනවා. ගම්බද තරුණයන් දෙදනකුගේ ඉතාලියට යෑමේ සිහිනයත් එක්කයි මේ චිත්‍රපටයේ රූප රාමු පෙළගැසී තියෙන්නේ. පාස්පෝට් එක හදා ගැනීමේ ඉඳන් විටින් විට රැවටෙන, ඒත් ඒ හැම අවස්ථාවකදීම පසුබට නොවී යළි නැඟිටින මේ තරුණයන් තවත් අනපේක්ෂිත සිද්ධි මාලාවකට නොදන්නා රටක, නොදන්නා වටපිටාවකදී මුහුණ දෙනවා. ඒ ත්‍රාසය, කුතුහලය එක්කම තවත් පසෙකින් ප්‍රේම කතාවක් දිවෙනවා. ඊටත් බාධා අපමණයි. නයනතාරා වික්‍රමාරච්චි සිනමාවෙන් කලඑළි බසින්නේත් මෙයින්. ඒ සම්මානනීය ජගත් චමිල සමඟ පෙම්වතුන් විදිහටයි. මේ ඇතුළු විශේෂතා රැසක් එක්කයි PASSPORT ළඟදීම රිදී තිරයට එන්නේ. අපේ මේ හැම උත්සාහයක්ම සාර්ථක වෙන්නේ ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටය නරඹන්නට පැමිණි විටයි. ඒ සඳහා අපි ආදරයෙන් ආරාධනා කර සිටිනවා.
පිටපත ලිව්වේ සත්‍ය සිද්ධි ඇසුරෙන්ද ?
බොහොමයක් සත්‍ය සිද්ධි පාදක කර ගැනුණා. ඒ වගේම මේ දිනවලත් දිනපතා පුවත් මවන මාතෘකාවක් බවටත් පාස්පෝට් නිකුත් කිරීමේ කාර්යය පත් වෙලානේ. ඒ කොහොම වුණත් මේ පසුපස මම යම් පර්යේෂණයක නිරත වුණා. මොන විදිහෙන් හරි විදේශගත වන්නට හීන මවන තාරුණ්‍යය ගැන අත්දැකීම් එකතු කිරීමට කලක් වෑයම් කළා. එහිදී ටෝකන් ක්‍රම, මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටු මඟින් රට පැනීම, ඒ අතරමඟදී ඇතැම් විට සමහරු මුහුදට ඇද දැමූ අවස්ථා ආදී බිහිසුණු සිද්ධි පිළිබඳත් ජනමාධ්‍ය ඔස්සේ පවා වාර්තා කළ අවස්ථා තිබුණා.
ඒත් මං නිර්මාණයක්නේ කළේ. සත්‍ය සිද්ධි වගේම පිටරට යෑමට හීන මවන තරුණයන් කාගේත් හීන තියෙනවා. ඒ ගැන මං වැඩිපුර සංවේදී වුණා. ඒ අය හුඟක් අමාරු තීරණයක් ගන්නේ, ඒ, තමන්ගේ විතරක් නෙවෙයි, මවුපිය අඹුදරු යැපෙන්නන්ගේ සුබසිද්ධිය වෙනුවෙන්. ඒත්, ඒ ගමනේදී ජය කණුවට ළඟා වෙන්නේ සුළුතරයයි. වැඩිදෙනකුට උන්හිටිතැන් පවා අහිමි වෙනවා. දිනපතාම වගේ එහෙම දේවල් වෙනවා. ජනමාධ්‍ය ඔස්සේත් විකාශය කෙරෙනවා. මුදල්හදල් ඇතුවාට නෙවෙයිනේ රට යන්නේ, කීයක් හරි වැඩිපුර උපයා ගන්නනේ, ඒ වෙනුවෙන් අද අතේ තියෙන ටික කැප කිරීමයි හුඟක් තරුණ තරුණියන් කරන්නේ. ඒක හරි අවදානම්. ඒ අවිනිශ්චිත බව පිටරට යන කාටත් තියෙනවා. විශේෂයෙන්ම හොර පාරෙන් යන අයට ඒ ගමන අතරතුරදී ජීවිතය නැති වෙන්නත් පුළුවන්. මේ ඇත්ත කියාපාන්නයි මං PASSPORT කළේ.
මේ කාලයේ චිත්‍රපටයක් කරලා ලාභ ලබන්න පුළුවන්ද ?
ඇත්තෙන්ම ඒක එහෙම කරන්න පුළුවන් කියලා, ඉකුත් කාලයේදී ප්‍රදර්ශනය කෙරුණු බොහෝ චිත්‍රපට හරහා ඒත්තු ගන්වා තියෙනවා. සිනමා කර්මාන්තයේ ප්‍රශ්නයක් මං දකින්නේ නැහැ. ගැටලුව තියෙන්නේ නිර්මාණකරුවන් අතේ. හොඳ චිත්‍රපට කෙරෙනවා නම්, ඊට හොඳ ප්‍රචාරයකුත් දෙනවා නම් ප්‍රේක්ෂකයා වැල නොකැඩී එනවා. මේ චිත්‍රපටයේදී මම අලුත් සිද්ධි, දර්ශන තල, නළු නිළි සංයෝග ආදියෙන් විතරක් නෙවෙයි, පවුලේ හැමෝටම එකට ඉඳන් නැරඹිය හැකි චිත්‍රපටයක් කළා. ඒ තුළ ආදරය, විරහව, ත්‍රාසය, භීතිය, කුතුහලය එක්කම විදෙස්ගත කළු ජාතිකයන් ගණනාවකුත් අපි මේ සඳහා එක්කර ගැනීමෙන් වෙනස් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට සමීප කර දීමටයි උත්සාහ දැරුවේ. ඉතින්, අලුත් දේවල් හුඟක් මේ තුළින් විඳගන්න ප්‍රේක්ෂකයාට පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි.
අපි දැන් රංගන හා තාක්ෂණ ශිල්පීන් ගැන කියමුද ?
ජගත් චමිල, නයනතාරා වික්‍රමාරච්චි, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, රොෂාන් පිලපිටිය, මල්කාන්ති ජයසිංහ, අතුල ජයසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න ඇතුළු ජනප්‍රිය, අතිදක්ෂ නළු නිළි කැලක් මේ සමඟ එක්ව සිටිනවා.
ඒ වගේම, සහාය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වජිත් කරුණාරත්න සහ ප්‍රියන්ත මලවිගේ, අංග රචනයෙන් රුචිර සංජීව, කලා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස්, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස්, සංගීත අධ්‍යක්ෂණයෙන් සුදත් ජයසිංහ, රංග වස්ත්‍ර නිර්මාණයෙන් සවන් පවිත්‍ර, රේඛීය නිෂ්පාදනයෙන් ලලිත් වරුණ රාජපක්ෂ, නිෂ්පාදන කළමනාකරණයෙන් එස්. සර්වාන්, ශබ්ද ප්‍රයෝග නිර්මාණයෙන් ශෂින් ගිම්හාන පෙරේරා, ගී පද රචනයෙන් නිලාර් එන්. කාසිම්, කැළුම් ශ්‍රීමාල්, ශ්‍යාමා ජයසිංහ, ගැයුමෙන්, සුපුන් පෙරේරා, මීනා ප්‍රසාදි, මිහිඳු ආරියරත්න, ඉන්දික රුවන්, සුදත් ජයසිංහ ආදීන් එක්ව සිටිනවා. මේ චිත්‍රපටයේ හීනය හැබෑ කර ගන්න මට අත දුන්නේ මෙහි නිෂ්පාදක, වෛද්‍ය චන්දික විරාජිත් තාඹුගල මහතායි. එතුමා මුලින් ඔයා නමක් හදාගෙන ඉන්නකෝ, කියලා මට අත දුන්නා. ඒ වෙනුවෙන් මං එතුමාට ස්තුති කළ යුතුමයි.
චිත්‍රපටය දෙමළ බසට හඬ කැවීමක් කරනවාද ?
ඔව්. ඉදිරියේදී ඉන්දියාවේදී ඒ කටයුතු කිරීමට සූදානමින් සිටිනවා. ජාත්‍යන්තර තලයේ චිත්‍රපටයක් වීම නිසා ඒක වැදගත් වෙයි කියලා අපි කල්පනා කරනවා.
ඉදිරි නිර්මාණ ගැන අදහස ?
තවත් අලුත් නිර්මාණ දෙකකට යොමු වෙලා තියෙනවා. ඒවා තවම පිටපත් මට්ටමේ තියෙන්නේ. ඒ වෙනුවෙනුත් හොඳ නිෂ්පාදකවරුන් මුණ ගැහෙයි කියලා හිතනවා. එහෙම වුණොත් වැඩි කලක් නොයවා ඒවා ප්‍රේක්ෂකාගාරයට අරන් එන්න පුළුවන්.
මෙරට සිනමාහල් ගණන හා ඒවායේ පහසුකම් ගැන ඔබේ අදහස ?
සිනමාහල දුටු පමණින් ආකර්ෂණීය තැනක් වෙන්න ඕනෑ. ඒත් සමහර ශාලා තවම එතැන නැහැ. එතැනින් ගොඩඑන්න ඒ අයට මඟපෙන්වීම්, ණය පහසුකම් රජයෙන් සලසා දීම වැදගත්. ඉන්දියාව 4K දක්වා ඉහළ නැඟ ඇති මෙකල අපිත් 2K දක්වාවත් අපේ ෆිල්ම්හෝල් දියුණු කර ගැනීම වැදගත්. අපි කොතරම් ඉහළ තාක්ෂණයක් යොදා ගත්තත්, ෆිල්ම් හෝල් එකේදී එයින් 60%ක් වත් දකින්න නැත්නම් එයින් ඵලක් නැහැ. ප්‍රොජෙක්ටර්, ලයිටින් ආදියෙන් කලඑළියක් එන්න ඕනෑ.