Home » අනුර, සජිත් හා නාමල්ගේ පරිත්‍යාගය සහ රනිල්ගේ පිළිගැනීම…

අනුර, සජිත් හා නාමල්ගේ පරිත්‍යාගය සහ රනිල්ගේ පිළිගැනීම…

by mahesh
September 13, 2024 1:05 am 0 comment

ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයන්ගේ කැමැත්ත කවර ස්වරූපයක් ගෙන තිබේද යන්න පැහැදිලි කිරීම සඳහා පවත්වනු ලබන සමීක්ෂණවල වාර්තා යැයි හඳුන්වා දී ඇති වාර්තා රැසක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රකාශයට පත්කර ඇත. ඡන්ද දායකයන්ගේ සිතැඟි හඳුනා ගැනීම සඳහා ජනමත සමීක්ෂණ ආධාර වන බැවින් බොහෝ රටවල එවැනි සමීක්ෂණ පවත්වන බව පෙනේ. බටහිර රටවල පමණක් නොව ඉන්දියාව වැනි රටවල ද එවැනි සමීක්ෂණ පැවැත්වෙන අතර බොහෝ අවස්ථාවලදී එවැනි සමීක්ෂණවලින් හෙළිකර ඇති තොරතුරුවලට සමාන වන ආකාරයෙන් ඡන්ද ප්‍රතිඵල ද ලැබී තිබේ. ඒ නිසා බොහෝ විදේශ රටවල ජනමත සමීක්ෂණ මහජනතාවගේ කැමැත්ත පිළිබඳ තොරතුරු හෙළි කරන මූලාශ්‍ර බවට පත්ව තිබේ.

එසේ වුවද ශ්‍රී ලංකාවේ මැතිවරණ සමීක්ෂණ පිළිබඳ පැවසිය හැක්කේ ඉන් වැඩි ප්‍රමාණයක් මහජනතාව මුළාකිරීම සඳහා නිර්මාණය කර ඇති ජනමත විමසීම් බවය. ජනමත සමීක්ෂණ සහ පර්යේෂණ පිළිබඳ මූලික මූලධර්ම හෝ අනුගමනය කළ බවක් නොපෙනේ. එසේම සමීක්ෂණ සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේද පිළිබඳ ද පැහැදිලි කිරීමක් ඒවායේ අඩංගු නොවේ. ඒවා ප්‍රකාශයට පත්කරනු ලබන පුද්ගලයන් තමන් කැමැති අපේක්ෂකයන්ට ජයග්‍රහණය හිමිකර දෙන ආකාරයෙන් ඒවායේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබේ. ඒනිසා ව්‍යවහාර භාෂාවෙන් සඳහන් කරන්නේ නම් කිව හැක්කේ ඒවා ‘අමූලික බොරු’ බවය.

සමීක්ෂණ

ඇතැම් යූටියුබ් නාළිකාවල ජනප්‍රිය විෂයයක් බවට පත්ව ඇත්තේ පුද්ගලයන් හමුවී රූපවාහිනී කැමරාවක් ඉදිරියේ මත විමසීම මගින් ජනමත සමීක්ෂණ පැවැත්වීම ය. ප්‍රසිද්ධියේ තමන් කවර දේශපාලන පක්ෂයකට සහාය දෙන්නේ දැයි විමසා එය පටිගත කර විකාශය කිරීමට ශ්‍රී ලංකාවේ ඡන්ද නීතිරීතිවලින් ඉඩ ලැබී තිබේදැයි විමසා බැලිය යුතුව ඇත. කෙසේ වුවද ඒ පිළිබඳ සඳහන් කළ හැක්කේ ඒවා සදාචාරවිරෝධී බවය. එවැනි අදහස් විමසීමකට පැමිණි පිරිසකට ප්‍රවීණ මාධ්‍යවේදී හා රංගන ශිල්පි වසන්ත දුක්ගන්නාරාළ කදිම උත්තරයක් ලබාදී තිබුණි. “ඔබ මෙවර කාට ද ඡන්දය දෙන්නේ” යැයි එක් සමීක්ෂකයකු කැමරා ඉදිරියේ ඔහුගෙන් ප්‍රශ්න කළ විට වසන්ත දුන් පිළිතුර වූයේ එවැනි විමසීමක් කිරීම නීති විරෝධී හා සදාචාර විරෝධී බවයි. ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම මතය ප්‍රකාශ කරන බවත් ඊට පෙර එය විමසා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට නොගැළපෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනමත විමසීම්වල ප්‍රතිඵලය යැයි සඳහන් කරමින් ඇතැම් පුද්ගලයන් විසින් පළ කර ඇති තොරතුරු කොතරම් හාස්‍යජනකදැයි ඔබටම නිගමනය කළ හැකිය. යූටියුබ් හා සමාජ මාධ්‍යජාලා මඟින් ප්‍රකාශයට පත්කර ඇති සමහර තොරතුරුවල නරක්වන ඡන්ද ප්‍රතිශතය පවා ඇතුළත් කර තිබේ. සමීක්ෂණයකින් එවැනි තොරතුරු ලබාගත නොහැකිය. මහජනතාව මුළා කිරීම සඳහා එවැනි හාස්‍යජනක තොරතුරු පවා ඇතුළත් කිරීම තුළින් ‘ජනමත සමීක්ෂණ’ යන සංකල්පය අවභාවිත වන ආකාරය පිළිබඳ පැහැදිලි වනු ඇත.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute of Health Policy) විසින් පෙරේදා, සැප්තැම්බර් 11 වෙනිදා නිකුත් කරන ලද ජනාධිපතිවරණය පිළිබඳ මත විමසුම් සමීක්ෂණයේ ප්‍රතිඵලය පිළිබඳ විමසා බැලීම වැදගත් වන බව පෙනී යයි. එයට හේතුව ශ්‍රී ලංකාවේ මහජනතාවගේ දේශපාලන හැසිරීම් රටාව පිළිබඳ ක්‍රමානුකූලව සහ විධිමත් අයුරින් මත විමසුම් කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය එය වේ. එහි සමීක්ෂණ ක්‍රමවේදය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇත.

මෙම ආයතනය විසින් සැප්තැම්බර් මස 02 වෙනිදා දක්වා කරන ලද මත විමසුම අනුව එදින වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරින් ප්‍රමුඛත්වයට පත්ව ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ය. ඔහුට මහජනතාවගෙන් සියයට 36ක ප්‍රමාණයක් කැමැත්ත පළ කර තිබේ. දෙවැනි තැන ලබාගෙන ඇත්තේ සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ය. ඔහුට ලැබී ඇති කැමැත්ත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 32කි. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන ඇති කැමැත්තේ ප්‍රමාණය සියයට 28කි. මේ අනුව අනුර කුමාර දිසානායක මහතා 2024 සැප්තැම්බර් 02 වැනිදා වනවිට ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා බවට පත්ව ඇති බව බැලූබැල්මට ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකිවනු ඇත. එහෙත් එය බැලූබැල්මට ය. ඒ සමඟ කියවෙන තවත් බොහෝ දේ ඇත. වඩා වැදගත් වන්නේ එම තොරතුරු ය.

මෙම සමීක්ෂණය ආරම්භ කර ඇත්තේ 2021 ඔක්තෝම්බර් මස 01 වැනිදා ය. 2023 ජනවාරි මස වන තුරුම ජයග්‍රාහකයාව සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ය. දෙවනියා අනුර කුමාර දිසානායක මහතා වූ අතර, තුන්වැනියා වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ය. රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටියේ හතරවැනි ස්ථානයයි. 2023 ජනවාරි මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය වෙනස් විය. ඔහු තුන් වැනි ස්ථානයට පත්විය. ඉන්පසු ප්‍රධාන වෙනස්කම් ඇති වන්නට පටන් ගත්තේ මේ වසරේ මැයි මාසයේ සිටය.

මැයි මාසයේදී අනුරගේ හා සජිත්ගේ ඡන්ද සංඛ්‍යාව සමාන විය. 2024 මාර්තු මාසයේදී අනුර සියයට 41ක් ලබාගෙන ඇතත්, සජිත්ට හිමිවූයේ සියයට 39කි. මැයි මාසයේදී අනුරගේ ඡන්ද ප්‍රමාණය සියයට 39 දක්වා පහළ ගිය අතර, සජිත්ගේ ඡන්ද ප්‍රමාණය සියයට 39ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා තමන් ජනාධිපතිවරණයට තරග කරන බව මහජනතාවට දැන ගැනීමට ඉඩ හැරීමත් සමඟ ශ්‍රී ලංකාවේ මහජනතාවගේ දේශපාලන අභිමතයන් ඉතා සීඝ්‍රයෙන් වෙනස් වන්නට විය. 2024 මාර්තු මාසයේදී සියයට 12ක් වූ ඔහුගේ ඡන්ද ප්‍රතිශතය ජූලි මාසයේදී සියයට 22 දක්වා ඉහළ ගියේය. මාර්තු මාසයේදී සියයට 39ක් වූ සජිත්ගේ ඡන්ද ප්‍රමාණය ජූලි මාසයේදී සියයට 36 දක්වා අඩු විය. මාර්තු මාසයේ සියයට 41ක් ලබා ජයග්‍රාහකයා බවට පත්ව සිටි අනුරගේ ඡන්ද සංඛ්‍යාව ජූලි මාසයේදී සියයට 37 දක්වා අඩුවිය. අගෝස්තු මාසය වනවිට දැවැන්තම වෙනස්වීම සටහන් වී තිබේ. රනිල්ගේ ඡන්ද සංඛ්‍යාව සියයට 22 සිට සියයට 28 දක්වා සියයට 6කින් මාසයක් තුළ ඉහළ ගොස් තිබේ. සජිත්ගේ ඡන්ද සංඛ්‍යාව සියයට 36 සිට සියයට 32 දක්වා සියයට 4කින් අඩුවී තිබේ. අනුරගේ ඡන්ද සංඛ්‍යාව සියයට 37 සිට සියයට 36 දක්වා සියයට එකකින් අඩු වී තිබේ.

ඡන්ද ප්‍රමාණ

මෙම ජනමත විමසුම මඟින් පැහැදිලිව පෙන්නුම් කරන මූලික හෙළිදරව්ව වන්නේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය ඉතා සීඝ්‍රයෙන් වැඩිවෙන බවයි. ඒ හා සාපේක්ෂව අනුර දිසානායක මහතාගේත්, සජිත් ප්‍රේමදාස මහතාගේත් ඡන්ද ප්‍රමාණය අඩුවී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය 2024 මාර්තු මාසයේදී සියයට 9ක්ව පැවතිය ද එය අගෝස්තු මාසයේදී සියයට 3 දක්වා පහළ වැටී ඇත. අනුර, සජිත් සහ නාමල්ගේ ඡන්ද ප්‍රමාණය අඩුවෙද්දී, ඒවා එකතු වී ඇත්තේ රනිල්ගේ ගොඩට බව පැහැදිලිය. එම තොරතුරු සැප්තැම්බර් 02 දක්වා කාලය සඳහා පමණි. මේ වනවිට දින 11ක් පසුවී තිබේ.

එසේ වුවද අද තත්ත්වය පිළිබඳ එම සමීක්ෂණය තුළින් කිසිවක් කීමට නොහැකිය. ඒ අද දක්වා කාලය තුළ මහජන මතය වෙනස් වී ගිය ආකාරය පිළිබඳ තොරතුරු නොමැති නිසාය. ඒ අතරම අද සිට ඡන්දය පැවැත්වෙන දිනය දක්වා තව දින 09 ක් ඉතුරු වී තිබේ. තවමත් ගණන් නොගෙන ඇති දින ගණන 19කි. කෙසේ වුවද ජූලි මස සිට සිදුව ඇති සීඝ්‍ර වෙනස්කම් සළකා බලන විට මේ වනවිටත් රනිල්ගේ ජයග්‍රහණය තහවුරු වී ඇතැයි සිතිය හැකිය. ඒ සඳහා තවත් අවශ්‍යව තිබුණේ සියයට 8ක එකතුවීමක් පමණි. එයට හේතුව පළමු වැන්නා සහ රනිල් අතර පරතරය දැන් සියයට 8 දක්වා අඩුවී ඇති බැවිනි. මේ වසරේ මාර්තු මාසයේදී රනිල් සහ පළමුවැන්නා අතර පරතරය සියයට 29ක් විය. පසුගිය කාලය තුළම සිදුවී ඇති වෙනස්කම්වලට අනුව ගොඩ එකතු කර ගන්නා, රනිල් බවට පත්වී ඇත. එහෙත් ඔහුගේ ගොඩ වැඩි කිරීමට පරිත්‍යාගශීලීන් තිදෙනෙක් සිටින බව පෙනේ.

ඒ, අනුර, සජිත් සහ නාමල් ය. පළමුවැන්නා කොතෙක් අසරණ වීද යත් පිටරටින් එන එක පුද්ගලයකුගේ ඡායාරූප පවා තම ප්‍රචාරය සඳහා යොදා ගන්නා තත්ත්වයකට පත්ව තිබේ. සජිත්ට, තලතා රනිල් ළඟට ගිය පාඩුව, ගීතා ළඟට ගැනීමෙන් පිරිමසා ගත නොහැකිය. නාමල් අපේක්ෂකත්වය ලබා ගැනීමෙන් පසු ඡන්ද ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ ද දිගින් දිගටම ඡන්ද අඩුවී ඇති බවක් සටහන අනුව පෙනේ. ඒ අනුව රනිල් රටේ නවවැනි විධායක ජනාධිපති වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව පැහැදිලි වනු ඇත.

ජනමිත්‍ර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT