Wednesday, March 26, 2025
Home » ඕමත්තේ සෝමානන්ද නාහිමියෝ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

ඕමත්තේ සෝමානන්ද නාහිමියෝ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

by mahesh
September 13, 2024 1:00 am 0 comment

ඇල්පිටිය සමූහ චන්ද්‍රසිරි ගුණසේකර

දකුණුලක ගාලු දිසාවේ ඇල්පිටිය ඕමත්ත ග්‍රාමයේ ඉත්තපාන දූවගේ මාටින් උපාසක මහතා සහ උහන් ඕවිටගේ පොඩිනෝනා උපාසක මාතාව යන මවුපියන්ට දාව 1971 නොවැම්බර් මස 30 වැනි දින උපන් ඉත්තපාන දූවගේ සමන්ත නමැති කුමරුවා අට දෙනකුගෙන් යුත් පවුලේ බාලයා විය. ඕමත්ත කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා වයස අවුරුදු දහ තුන සපිරෙද්දී ඕමත්ත ශ්‍රී සද්ධර්මදාන සමිත්‍යාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය මැටිවිලියේ ශ්‍රී ගිරිමානන්දාභිදාන නායක හිමිපාණන් සමීපයේ 1984 සැප්තැම්බර් මස 06 වැනි දින ඕමත්තේ සෝමානන්ද නමින් පැවිදි බිමට ඇතුළත් වූහ.

මැටිවිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙන, පිටිගල ගංගාතිලක පිරිවෙන, නිට්ටඹුව ත්‍රිපිටකෝදය, මහ පිරිවෙන් ඇසුරෙන් ප්‍රාචීන ප්‍රාරම්භ සාමාර්ථය දක්වා පිරිවෙන් අධ්‍යාපනය ලැබීය. 1991 ජුනි මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාර මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලදහ. අධ්‍යාපනික කටයුතුවලට වඩා ආගමික සහ ශාසනික කටයුතු කෙරෙහි නැඹුරු වූ උන්වහන්සේ පිරිත් පිරීම, බෝධිපූජා පැවැත්වීම, ධර්ම දේශනා පැවැත්වීම, පින් වාක්‍ය කීම ආදී ආගමික කටයුතුවලට වඩාත් ජනප්‍රිය වූහ. ප්‍රදේශයේ සියලු වෙහෙර විහාරස්ථාන සමඟ ඉතා සමීපව කටයුතු කරන උන්වහන්සේ සියලු ආගමික ශාසනික කටයුතුවලදී පෙරමුණගෙන කටයුතු කරති.

අනාගත බොදු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙල්පෝන කනිටු විදුහලේ දරුවන්ට දහම් දැනුම දෙන්න කටයුතු කළ සෝමානන්ද හිමියෝ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස ද කටයුතු කරති. ඇල්පිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. උන්වහන්සේ සිදු කරන ආගමික ශාසනික සහ අධ්‍යාපනික සේවය අගයමින් විවිධ ආයතන සහ සංවිධාන විසින් විචිත්‍රභාණක, පරිත්ත භාණක, ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරවනාම පිරිනමා තිබේ.

මෙවන් සුවිසල් මෙහෙවරක යෙදෙන ඉහළ ඕමත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපති ශ්‍රී සාරානන්ද පිරිවෙන් කෘත්‍යාධිකාරී ඕමත්තේ සෝමානන්ද හිමිපාණන් වෙත ශ්‍යාමෝපාලි සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි මහා සංඝ සභාවේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව වෙතින් ගෞරවනාම සම්මුතියකින් හා ශාසනික තනතුරකින් උපහාර පිදීමේ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානෝත්සවය අද (13) පස්වරු 3.00ට කෝට්ටේ රාජමහා විහාර මංගල උපෝසථාගාරයේදී සිදු කෙරේ.

අභිනව සංඝනායක පදවියෙන් පිදුම් ලබන ගාල්ල ගඟබඩපත්තුවේ උප ප්‍රධාන සංඝනායක විචිත්‍රභාණක ධර්මකීර්ති, ඕමත්තේ සෝමානන්ද නායක හිමිපාණන්ට ආශීර්වාද පැතීමේ පිරිත් දේශනාවක් හෙට (14) රාත්‍රි එම විහාරස්ථානයේදී පවත්වන අතර, අනිද්දා (15) දහවල් සඟ සතු දානමය පින්කමක් සිදු කිරීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT