ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජී. කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක පිටුපස තිබී ඉකුත් 10 වැනිදා හමු වූ බිලිඳියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී බිලිඳිය ඉපදුණු විටම වයරකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බවට තහවුරු වී ඇති බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඉකුත් 10 වැනිදා එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයකින් දුර්ගන්ධයක් හැමීම සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ රියැදුරුගේ මව විසින් පරීක්ෂා කර බැලීමේදි ත්‍රිරෝද රථයේ පිටුපස තිබූ පොලිතින් බෑගයක් පරීක්ෂා කර බැලීමේදී එම බෑගය තුළ කුඩා බිලිඳියකගේ සිරුරක් තිබෙන බවට දැකීමෙන් පසු ඇය කෑගසමින් අසල්වාසින්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු අසල්වාසින් විසින් ඒ බැව් ආගරපතන පොලිසියට දැනුම් දී තිබුණි.
සිරුර සම්බන්ධයෙන් සැකපිට එම ත්‍රිරෝද රථයේ රියැදුරු 28 හැවිරිදි එක්දරු පියෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි මාවනැල්ල ප්‍රදේශයේ සිට තම වතුයායට පැමිණි කාන්තාවකගේ පාර්සලයක් බවට පැවසීමෙන් අනතුරුව 24 හැවිරිදි සැකකාර කාන්තාවද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකාර රියැදුරු සහ තමන් අතර තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බිලිඳිය මෙලොවට බිහි වූ බවට ඇය පවසා ඇත.
ඉකුත් 05 වැනිදා තමන් සේවය කළ මාවනැල්ල ප්‍රදේශයේ නිවසේ දි බිලිඳිය මෙලොවට බිහි වූ බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහාය ඇතිව බිලිඳියගේ ගෙල සිරකර ඝාතනය කර සිරුර සැඟවීම සඳහා ත්‍රිරෝද රථ රියැදුරා සමඟ ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත.
අලුයම් කාලයේ සිරුර වළ දැමීමට සැලසුම් කර තිබුණ ද ඊට පෙර තම මව සිරුර දැක අසල්වාසින්ට දැනුම් දීම නිසා සිරුර වළ දැමීමට නොහැකි වූ බව ත්‍රිරෝද රථයේ රියැදුරාද පොලිසියට පාපෝච්චාරණය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකාර රියැදුරා සහ සැකකාරිනිය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, සැකකාරිනියගේ සොහොයුරියද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ආගරපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.