මෙරටින් ජලභීතිකාව තුරන් කිරීමට නම් සත්ත්ව ගහනය පාලනය කළ යුතු බවත්, වන්ධ්‍යකරණ වැඩසටහන් මඟින් එය මානුෂීයව පාලනය කරගත හැකි බවත් පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනතාව ජලභීතිකා රෝගයට ගොදුරු වීම වළකාගැනීම සඳහා අයාලේ සැරිසරන සහ නිවෙස්වල ඇති කරනු ලබන සුනඛයන් සහ බළලුන් නොමිලේ වන්ධ්‍යකරණයට ලක් කිරීමේ තෙදින සායනයක් පසුගියදා කුරුණෑගල ‘බව්බව් සත්ත්ව සුබ සාධන සංවිධානයේ’ මෙහෙයවීමෙන් කුරුණෑගලදී පවත්වුණු අවස්ථාවේදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ ගහනය පාලනය කිරීම සඳහා මේ වන විට ගාල්ල, මාතර, අනුරාධපුර, මන්නාරම, මැල්සිරිපුර සහ සීගිරිය වැනි ප්‍රදේශ රැසකම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි. අයාලේ යන සුනඛයන් නිසා ජලභීතිකා භීතිකාව සමාජය පුරා පැතිරෙන බවත්, අයාලේ යන බල්ලන් සපා කෑම නිසා විශාල මුදලක් වැය එන්නත් මාලාවක් දීමට සෞඛ්‍ය අංශවලට සිදු වන බවත් පැවසූ පශුවෛද්‍යවරයා අයාලේ යන සුනඛ ගහනය අඩු කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙන බව හෙළි කළේය.
කුරුණෑගලදී සිදු කරන ලද පැය 48ක් අඛණ්ඩව සිදු කළ ප්‍රථම සත්ත්ව වන්ධ්‍යකරණ වැඩසටහන මෙය වන අතර, මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ කුරුණෑගල මහා නගර සභාව ඊට සහය දී තිබේ, කුරුණෑගල නාගරික එළිමහන් රංගපීඨයේදී පැය 48ක කාලයක් දිවා රාත්‍රියේ අඛණ්ඩව පැවැත්වූ මේ සායනය සඳහා මානුෂීය ක්‍රම මඟින් සත්ත්ව ගහන කළමනාකරණය කිරීම සඳහා වන පශුවෛද්‍ය එකමුතුව විශේෂඥ සහය දී ඇති බව බව්බව් සංවිධානයේ අධ්යක්ෂ ගිහාන් දිනුෂ්ක මහතා කීවේය. මේ වැඩසටහනේදී සුනඛයන් 250ක් සහ බළලුන් 60ක් පමණ වන්ධ්‍යකරණයට ලක් කළ ඇති බව වැඩසටහන් සම්බන්ධීකාරක ශ්‍රීලාල් උඩවත්ත මහතා පැවසීය.