Saturday, May 10, 2025
Home » හෙරොයින් ග්‍රෑම් 400ක් සන්තකයේ තබා ගත් පුද්ගලයකුට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 400ක් සන්තකයේ තබා ගත් පුද්ගලයකුට මරණ දඬුවම

by mahesh
September 13, 2024 1:00 am 0 comment

අනුරාධපුර අධිකරණ - උපාලි ආනන්ද

හෙරොයින් ග්‍රැම් 400ක් සන්තකයේ තබාගෙන වෑන් රථයකින් ප්‍රවාහනය කළ බවට මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවකු දීර්ඝ නඩු විභාගයකින් අනතුරව එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට මරණීය දණ්ඩනය නියම කළාය.

මෙසේ මරණ දඬුවම නියම වූයේ අම්පිටිය ගල්පීල්ල පදිංචිකරුවෙකු වන රාජකරුණා මහ දිසානායක අබේකෝන් පණ්ඩිත වාසල මුදියන්සේ රාලහාමිලාගේ වසන්ත විජය කුමාර යටවර නොහොත් ‘බුංගා’ නමැත්තෙකුටය.

විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ තාරකා කෝදාගොඩ මෙනවිය මහාධිකරණ විනිසුරුවරියගෙන් ඉල්ලා සිටියේ විත්තිකරු සිදු කර ඇති වරදේ ස්වභාවය අනුව සමාජයට ආදර්ශයක් ඇති වන ආකාරයේ උපරිම දඬුවම් ඔහුට නියම කරන ලෙසයි.

2021 වසරේ මැයි මස 5 වන දින හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බලප්‍රදේශයට අයත් මහනුවර යටිනුවර ප්‍රදේශයේදී විත්තිකරු මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් විෂ මත්ද්‍රව්‍ය පනත ප්‍රකාරව මෙම විත්තිකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

විත්තිකරු සමඟ අත්අඩංගුවට ගත් හෙරොයින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා අධිකරණයට වාර්තාවක් ද කැඳවා ඇත.

විත්තිකරු වෑන් රථයකින් හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් විසිනි.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුට අධිචෝදනා ගොනු කරනු ලැබීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා මහනුවර මහාධිකරණයට යොමු කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT