Saturday, May 10, 2025
Home » උතුරු දුම්රිය මාර්ගය විවෘත වෙයි

උතුරු දුම්රිය මාර්ගය විවෘත වෙයි

by mahesh
September 13, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

විධිමත් හා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව රුපියල් කෝටි 3,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 92ක) වියදමින් ක්‍රියාත්මක කළ අනුරාධපුර – මහව දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නිල වශයෙන් භාර දී තිබේ.

ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කළ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කළ අතර අනුරාධපුර – ඕමන්ත, අනුරාධපුර – මිහින්තලය සහ අනුරාධපුර – මහව ලෙස එය සංවර්ධනය කළ බවද මේ වනවිට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ අනුරාධපුර – මහව කොටස මෙලෙස භාරදීමට හැකිවූ බව එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ චින්තක ජයසේකර මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් චින්තක ජයසේකර මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වසරේ ජනවාරි මාසයේ දී අනුරාධපුර – මහව කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසුව හෙට (14) සිට යළි දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට හැකි වෙතැයි දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

එක් මංතීරුවකින් සමන්විත මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙතෙක් කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගමන් කිරීමේ දී පැය හත හමාරක් ගතවූ නමුත් එය පැය පහ හමාරක් දක්වා අඩු වෙනවා. කිලෝමීටර් සියයට වැඩි වේගයකින් දුම්රිය ධාවනය කිරීමේ හැකියාව පවතිනවා.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී 1894 දී උතුරු දුම්රිය මාර්ගය ඇරඹුණා. 1956 දී කොළඹ සිට කන්කසන්තුරය දක්වා යාල්දේවී දුම්රිය ගමන් කිරීම ඇරඹුණා. එදා සිට විශාල කාලයක් උතුර දකුණ යා කරමින් මෙම දුම්රිය සේවය ලක්ෂ සංඛ්‍යාත මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කළා. යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ 1986 සිට මෙම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමුවා. යුද ගැටුම් නිමවීමෙන් පසු සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ දුම්රිය මාර්ගය ඉන්දියානූ ණය යෝජනා ක්‍රමය යටතේ යළි ප්‍රතිෂ්ඨාපනය කර 2014 දී යළිත් කොළඹ – කන්කසන්තුරය දුම්රිය ධාවනය ආරම්භ කළා. නමුත් ඕමන්තේ සිට මහව දක්වා කිලෝමීටර 128 ක දුර ප්‍රමාණය බ්‍රිතාන්‍ය යුගයෙන් පසු අලුත් වැඩියා කිරීම නිසා වේගසීමා රාශියක් යටතේ ඉතා හෙමින් දුම්රිය ධාවනය කරන්නට සිදු වුණා.

මේ නිසා යාපනය – කොළඹ දුම්රිය ගමනට පැය හත හමාරක් ද, තැපැල් දුම්රිය ගමන සඳහා පැය දොළහක් ද ගතවීමෙන් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අපහසු වුණා. 2017 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක දුම්රිය ප්‍රතිසංස්කරණ සඳහා ලැබුණු ණය යෝජනා ක්‍රමයෙන් ඩොලර් මිලියන 92ක වටිනා කමින් යුත් ටෙන්ඩරයක් 2018 වසරේ දී කැඳවා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු ලන්සු කරුවන් අතරින් ඉන්දීය රජයට අයත් ඉර්කෝන් සමාගමට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර 2019 වසරේ දී වැඩ ආරම්භ කරන ලෙස කොන්ත්‍රාත්තුව ලබා දුන්නා. 2019න් පසු අමාත්‍යවරු තිදෙනෙක්, ලේකම්වරු පස් දෙනෙක් යටතේ මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය ආරම්භ වීමට විවිධ බාධා ඇති වුණා.

2022 ආර්ථික අර්බුදයෙන් පසු විෂය භාර ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ පරිශ්‍රමයක් යටතේ ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ සහයෝගයෙන් 2023 වසරේ දී අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටස නිමකොට 2023 ජූලි මාසයේ දී එම කොටස විවෘත කරන්නට යෙදුනා. ඉන් පසු වර්තමාන ඉන්දියානු මහාකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ 2024 ජනවාරියේ දී මහව සිට අනුරාධපුරය දක්වා කොටස ප්‍රතිසංස්කරණය ඇරඹුවා. පෙරේදා (11) වනවිට මෙම ව්‍යාපෘතිය නිමකර පරීක්ෂණ චාරිකාව නිම කිරීමෙන් ද පසු ඊයේ (12) දින ප්‍රවාහන අමාත්‍යාංශයේ දී මෙසේ නිමකළ ව්‍යාපෘතිය නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දුන්නා.

ඡායාරූප – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT