Home » ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දය ඔක්. 26 දා

ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දය ඔක්. 26 දා

by mahesh
September 13, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක, ගාල්ල දිසා සමූහ - නන්දසිරි වැලිගමගේ, ඇල්පිටිය සමූහ චන්ද්‍රසිරි ගුණසේකර, ගාල්ල දිස්ත්‍රික් සංචාරක - ධර්මදාස සිරිවර්ධන, ගාල්ල උතුර සමූහ දික්වැල්ලේ තිලකරත්න, දකුණු පළාත් සංචාරක - එස්. දීයගහගේ,

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම ඊයේ (12) පස්වරු දොළහෙන් අවසන් වෙද්දී පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කර තිබූ අතර ඉන් පක්ෂ නවයක් හා ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා ඉදිරිපත් කර තිබිණි. ඉන් ඇප තැන්පත් කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කොංග්‍රසය නියමිත වේලාවට පසුව පැමිණි නිසා නාමයෝජනා දීමට නොහැකිව ආපසු හැරී ගිය බවත් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා අතරින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හා චමින්ද ප්‍රසාද් උදය කුමාර ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වූ බවත් තේරීම් භාර නිලධාරීවරයා කීවේය.

මෙයට අමතරව දෙවන පරපුර සංවිධානයේ නාම ලේඛනයේ අපේක්ෂකයන් තිදෙනකුගේ හා ජාතික ජනතා පක්ෂයේ දෙදෙනකුගේ ද අපේක්ෂකත්වය අහිමි වූ බව ද ඒ මහතා පැවසීය.

ඒ අනුව ජනසෙත පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, පොදු ජන එක්සත් පෙරමුණ, පොදු ජන එක්සත් නිදහස් සන්ධානය, ජාතික ජන බලවේගය, ජාතික ජනතා පක්ෂය, දෙවන පරපුර පක්ෂය සහ ස්වාධීන කණ්ඩායමක් ඇතුළුව කණ්ඩායම් නවයක් තරග බිමට පිවිස ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ද එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් නොවීම විශේෂ සිද්ධියක් වූ අතර අලුතින් බිහි වූ පොදු ජන එක්සත් නිදහස් සන්ධානය වෙනුවෙන්ද කණ්ඩායමක් ඉදිරිපත් වූ අතර නාමයෝජනා භාරදීම සඳහා එහි ලේකම්, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එක්වීම ද කැපී පෙනෙන සිද්ධියක් විය.

මෙයට අමතරව පොදු ජන එක්සත් පෙරමුණ ද වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වූ අතර එහි ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද එක්වී සිටියේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ද එක් වී සිටි අතර සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හා දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු ද එක්වී සිටියහ.

ජාතික ජන බලවේගයේ නාමයෝජනා ඉදිරිපත් කිරීම සඳහා එහි ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නලින් හේවගේ රත්න ගමගේ, නිශාන්ත පෙරේරා මහත්වරු එක්ව සිටියහ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන මට්ටමින් හා සමානුපාත මට්ටමින් මන්ත්‍රීවරු 28 දෙනකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මෙම තරගය සඳහා අපේක්ෂකයන් 279 දෙනකු ඉදිරිපත් වී ඇති අතර කාන්තාවන් 135ක් ද මෙවර තරග වැදීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති එස්.එස්.ජයවීර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ අතර සියලු කටයුතු ඉතා සාමකාමී ලෙසට පැවතිණි. මේ අතර ආසියානු ජාත්‍යන්තර නිරීක්ෂණ නියෝජිතවරියක් ද පැමිණ ඉදිරි තැපැල් ඡන්ද දැමීම හා ඇල්පිටිය නාමයෝජනා ගැනීම ගැන ද නිරීක්ෂණය කරනු ලැබුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT