Saturday, May 10, 2025
Home » මන්නාරම් මහාධිකරණ විනිසුරුට අපහාස පෝස්ටර් ගැසූ තිදෙනෙක් රිමාන්ඩ්

මන්නාරම් මහාධිකරණ විනිසුරුට අපහාස පෝස්ටර් ගැසූ තිදෙනෙක් රිමාන්ඩ්

by mahesh
September 13, 2024 1:00 am 0 comment

භාග්‍යා සිල්වා

මන්නාරම් මහාධිකරණ විනිසුරු හට අපහාස වන අයුරින් පෝස්ටර් දැන්වීම් ඇලවූ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනකු කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් මස 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12) නියෝග කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මාතලේ පදිංචි ඉශාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිශාන් නාලක සහ මඩපාත පදිංචි මනෝජ් මධුශංක යන අයයි.

මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයට ගල් ගැසීමේ සිද්ධියට අදාළ සැකකරුවන් පස් දෙනකුට එරෙහිව මන්නාරම් මහාධිකරණයේ පැවති නඩුවේ අවසන් තීන්දුව දීමට පෙර දිනයේ මෙලෙස මන්නාරම් මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවූ පෞද්ගලික බස් රථ රියැදුරකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා සහ චතුරංග, මධුශංක, ෆොන්සේකා, බණ්ඩාර, දුනුසිංහ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට කරුණු ඉදිරිපත් කළේය.

එම සැකකරුවන් සමඟ ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක් මෙන්ම ජංගම දුරකතන හතරක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අලවන ලද පෝස්ටර්වල ඡායාරූප ලබාගෙන ඒවා ඇලවීමට උපදෙස් ලබා දුන් ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකතනයට යවා ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

එම සැකකරුවන් දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු සමඟ පෝස්ටර් අලවන ස්ථාන පෙන්වීම සඳහා යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයකු මහරගම පතිරගොඩ ප්‍රදේශයේදී යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළේය.

ප්‍රධාන සැකකරු කවුදැයි නිශ්චිතව මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශ අතහැර පැන ගොස් ඇති බවට කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT