මැතිවරණයක් අල්ලපනල්ලෙ රටේ උණුසුම දරන්නට බැරි තරම් දැඩිය. අපේ දේශපාලන සාක්ෂරතාව කොච්චර ද කියනවා නම් අපිට ඡන්දයක් කියන්නේ ගහ මරා ගන්නට තෝතැන්නකි.
ඡන්දයට පෙර ද ඡන්දයට පසු ද අපි මුරුගසං වරුසාවට තෙමුණා වාගේ ගහ මරා ගනිමු. එතකොට මට නම් මතක් වෙන්නේම දෙදහස් පන්සිය වසක උරුමයයි. ශ්‍රී විභූතියයි. අනෙකාගේ මතය හෝ ජයග්‍රහණය ඉවසා දරාගත නොහැකි රට වැසියන් කොයි කවදා පුරවැසියන් බවට පත් වේදෝයි සැක සංකාව ද උහුලාගෙන ඉන්නට බැරිය.
දියණියකගෙ සිහිනය විසින් උකුළට පිදූ පුතුන් දෙදෙනා එක්ක ඡන්ද පොළට යා යුතු නැතැයි දරුවන්ගේ පියා පවසා සිටියා නෙවැ .
“අතේ ළමයි දෙන්නයි…තව පොඩි උන් තුන් දෙනයි… මොන ඡන්ද ද..? විකාර නැතුව ඉන්න”
ඡන්දය ප්‍රකාශ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් බව නොකියා මම බිලිඳුන්ට කිරි පොවා නිදි කරවන්නට වෙර දැරුවා ..
දුවන, පනින, දඟලන දරුවන්ට කවා පොවා ඡන්ද පොළට යා යුතුම බවට ගිවිස ගත්තා.
“ළමයි දෙන්නා ඇහැරිලා අඬන්න ගනී…මං කොහොමද නළවගන්නෙ…? ඡන්දෙ නොදා හිටියා කියලා මැරෙනව ද ?”
එයා අහන්නෙ නොරුස්සුමින්…ගිනි කන්ද පුපුරා යන්නට ආසන්න බවට ඉඟිබිඟි එමටයි.. ඒත්, මොනම හේතුවක් මත හෝ ඡන්දය නොදා ඉන්න පුළුවන් ද දේශපාලන අනුරාගයෙන් ආතුර එකියකට…ඇත්තටම ආදරයෙන් ආතුර වෙන්න පෙර මම දේශපාලන අනුරාගයෙන් ආතුර වුණේ…
ජනතා පරමාධිපත්‍ය බලය උරගා බලන අවස්ථාවක් මම මඟ හරියි ද…?
ඒත්, මේ පැටව් පස් දෙනා ..! දෙයියනේ එක්කෙනෙක් දෙන්නෙක් ද….ළමයි පස් දෙනෙක්…! පඩි පෙළ වගේ දරු පැටවුන් පිරිවරාගෙන මං ඡන්ද මධ්‍යස්ථානයට යන්නෙ කොහොමද…?
“මට ඡන්දෙ දාන්න යන්නම ඕන…”
මගේ එඩිතර බැල්මෙන් කුපිත වුණු ගෙදර එක්කෙනා “ ගෑනුන්ට මොන දේශපාලනය ද?”
කියා ඇහුවා අවඥාසහගත හිනාවක් එක්ක
“මම ඡන්දෙ දාන්න යනවා”
වැඩිදුර වාද විවාදවලට නොයා මම මගේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කළා.
ඇතැම් ගෙයක බිරියක් සැමියාගේ අණ පරිදි ඡන්දය සලකුණු කළ යුතු බවට පැන වූ නීතියට අවනත වූ බව දැන ගන්නට ලැබුණා. වෙනත් පක්ෂයකට ඡන්දය දාන බවට දැනගන්නට ලැබීමෙන් උරණ වූ සැමියාගේ පහර දීමට ලක් වූ බිරියක රෝහල්ගත කළ බවත් රහසක් නොවේ.
ගැහැනියක නිසාම නිදහසේ ඡන්දය ප්‍රකාශ කරන්නට බැරි රටක ගැහැනියක ලෙස මගේ තත්ත්වයත් බොහෝ අසතුටුදායක බව මට වැටහුණා.
ඒත් නිහඬව ඉන්නට බෑ. දරු බර දරන නිසාම මට මගේ පරමාධිපත්‍ය බලය ඉවතලන්නට බෑ.
“ගෑනු දන්න දේශපාලනය. මහින්ද මහත්තයාගෙ රැවුලට රැවටිච්චි ගෑනුණේ …මෝඩ ගෑනු”
ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ මර්සි එදිරිසිංහ ප්‍රවීණ නිළිය ගයන “මෝඩ ගෑනි මං” ගීය මුමුණමින් මම නිවුන්නු දෙන්නා දෑතට ගත්තා
“කිව්වහම අහලා මෙන්න මේ ගෙදරට වෙලා ඉන්නවා. ඔය පොඩි ළමයි උස්සගෙන යනව ද ඡන්දෙ දාන්න?”
“එහෙනම් ඉතිං මං ඡන්දෙ දාලා එනකම් ළමයි බලාගන්න එපැයි”
නොකියා මං පාරට බැස්සා.
නිවුන්නුන්ගෙ අයියලා තුන් දෙනාව අල්ලපු ගෙදර නැන්දාට බාර දුන්නා.
හතරමං හන්දියට ආවට මොකද ත්‍රීවීල් එකක් නෑ පේන මානෙක.
දරු දෙන්නෙක් දෑතින් වඩාගෙන කිලෝ මීටර් දෙකක් කොහොම ගියා ද මං … කිරි බරින් ඇඳුම් කන පපුවක එච්චර හයිහත්තියක් තිබුණා ද….මම මගේ අයිතිය ආරක්ෂා කරගනිමින් මගේ පුරවැසි වගකීම ඉෂ්ට කරන්න ඕන කියන දෘඩතර අධිෂ්ඨානය එක්ක මට යෝධබල යෝධවීරිය ලැබිච්චි.
“ගෑනු බය වෙලා බෑ”
අපේ මුත්තම්මා තිස්සෙම කී කතාව මගේ කන්දෙකේ දෝංකාර දුන්නා.
දික්වැව ශ්‍රී සුමංගලාරාමයේ ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වුණේ දාඩිය පෙරාගෙන කොණ්ඩෙ අවුල් වෙච්ච එක් බඳු රූ සෝබා දරන හින්නිකිතර පැටවු දෙන්නෙක් උස්සගත්ත අම්මෙක් …
“නිවුන්නු නේද?”
මුරකාවලේ පොලිස් නිලධාරියා හිනැහුණා
මම ඔළුව වැනුවා…මට කතා කරගන්න තරම් පණ කළඳක් නෑ…උගුර කට වේළිලා…ඇඟපත වෙව්ලනවා ..තව ඩිංගත්තකින් මගේ සිහිමුර්ජා වෙයි ද කියලා මට බය සැක බොහොමා …
“හරි ශෝක් නේද?”
අනික් පොලිස් නිලධාරියාත් හිනාවෙන් ඇහුවා..මොළකැටි දරු සිඟිත්තො දැක්කම ආයුධ දරාගෙන ඉන්න අයත් මොළොක් වෙනවා …රළු හිත් පවා සිනිඳුු වෙලා මුවේ හිනා උපදිනවා නිරායාසයෙන් …
“ඔ…ඔව්…හ…හරි ෂෝක්”
මම තැතනුවා හිනැහෙන්න වෙර දරමින්
ගිනි අව්වෙ මහ දුරක් ඇවිදගෙන ආ අම්මාට ඒ අනගි වරම ප්‍රකාශ කරගන්න දිරි දුන් කිරි අම්මලාට, මුත්තම්මලාට විතරක් නෙවෙයි නාඩා ඉන්න තරම් ආදරණීය වුණු මගේ නිවුන් පුතුන්ද මේ ජනාධිපතිවරණ සමයේ සිහිපත් කරන්නේ බැති පෙමින් …
…මෝඩ ගෑනු රටක දිශානතිය වෙනස් කරන්නට කොයි කවදත් උර දෙන බව අමුතුවෙන් කිව යුතු ද….?
මෝඩ ගෑනු දරු බර විතරක් නෙවෙයි රටක බරත් දරනවා ඇටිලස් යෝධයා සක්වළ උස්සලා ඉන්නවා වාගේ….
ශාන්ති දිසානායක