ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බවත්, මෙරට අත්කරගෙන ඇති ප්‍රගතිය වෙනස්වීමට බලපාන කිසිදු තීරණයක් නොගෙන රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළෙහි කොටස්කරුවකු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා මේ බව සඳහන් කළේ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා මෙසේද පැවසීය.
එසේම ජනතා විමුක්ති පෙරමුණ දෙවරක් අවිගත් ත්‍රස්තවාදී සංවිධානයක්. 3%ක ප්රතිශතයක සිටි ඔවුන් මේ වන විට යම් වර්ධනයක් පෙන්නුම් කළත් එය ඡන්ද ලක්ෂ 10 – 15ත් අතර ප්‍රමාණයකට වඩා වැඩි වන්නේ නැහැ.
සජිත් ප්‍රේමදාසට තිබෙන්නේ ඡන්ද ලක්ෂ 28ක ප්‍රමාණයක් පමණයි. ඔහුට ඇති මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 55ක් බව කවුරුන් හෝ සිතනවා නම් ඒ අයගේ ගණිත දැනුම පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදුකර ගත යුතුයි. ඡන්ද ලක්ෂ 28න් එහාට සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එනිසා අපේ ජයග්‍රහණය නියත ජයග්‍රහණයක් වන බව කිව යුතුයි.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. පවතින ආණ්ඩුවලට විරුද්ධව දෙවතාවක් ආයුධ අරගෙන පොදු මහජනතාවගේ දේපොළ සියල්ල විනාශ කළ සංවිධානයක්. අදටත් පවතින ඒ අළු යට ගිනි, ටිකෙන් ටික මතු වෙනවා. සියයට තුනක ප්රතිශතයක සිට යම් ප්‍රමාණයකින් ඉදිරියට පැමිණ තිබුණත් සත්‍යය එය නොවෙයි. ඔවුන්ට හිමිවන්නේ ඡන්ද ලක්ෂ 10 – 15ත් අතර ප්‍රමාණයක් පමණයි. එතැනින් එහා ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ.
අප පසුකළ ඉතාම දුෂ්කර කාලසීමාව තුළ අත්කරගත් ආර්ථික ස්ථාවරත්වය තුළින් අද වන විට අපට ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ජනතාවට සහන ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා. අප මෙය මැතිවරණය නිසා ප්‍රකාශ කරන කාරණාවක් නොවෙයි. යම්තාක් දුරක ආර්ථික ස්ථාවරත්වයකට පැමිණි පසු ජනතාවට සහන ලබා දිය හැකි බව අප පසුගිය කාලය තුළ දිගින් දිගටම ප්‍රකාශ කළා.
රාජ්‍ය සේවකයන්ට 24% – 50%කට වඩා වැටුප් වැඩිවීමක් ලබා දීමට අපට හැකියාව ලැබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කළමනාකරණ වැඩසටහනෙහි සාර්ථකත්වය නිසයි. නමුත්, අවාසනාවකට රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට ඇමැති මණ්ඩල තීරණයක් නොමැති බවට ප්‍රකාශ කරමින් ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමට ඇතැමුන් කටයුතු කර තිබෙනවා. ඊයේ දිනයේ අප මැතිවරණ කොමිසම මුණගැසී මේ සම්බන්ධව සාකච්ඡා කළ අවස්ථාවේ එවැනි කාරණයක් පිළිබඳ ඔවුන් වෙනත් කිසිදු පාර්ශ්වයක් සමඟ සාකච්ඡා නොකළ බව තහවුරු කළා.
එනිසා අපේ රට වර්තමානයේ අත්කරගෙන ඇති ප්රගතියේ වෙනස් වීමකට බලපාන කිසිදු තීරණයක් නොගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යෑම සඳහා ඔබගේ පූර්ණ සහාය ලබා දෙන ලෙසත් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොදු ජනතා එක්සත් දේශීය පක්ෂයේ ප්‍රධාන ලේකම් ඉන්දික එස්. හෙට්ටිආරච්චි මහතා –
මේ රටේ පළවැනි ආර්ථික ඝාතකයා ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් 1989 වසරේ දී රට තුළ ත්‍රස්තවාදී කැරැල්ලක් නිර්මාණය කළා. රටේ ආර්ථිකය අඩාළ කළා. තරුණ ප්‍රජාව ඝාතනය කළා.
ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වී සිටින්නේ ජවිපෙ වයින් කළ බෝනික්කකු වන අනුර කුමාර දිසානායක බව ජනතාව තේරුම්ගත යුතුයි. ඒ වගේම සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන පවුලකින් පෝෂණය වූ අයෙක් බව කිවයුතුයි. ඔවුන්ට මේ රට ගොඩනැඟිය නොහැකියි.
මුස්ලිම් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් එම්.ආර්.එම්. ෆසාල් මහතා –
අද වන විට අපේ රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ සියලුම ජන වර්ගවලට අයත් ජනතාව සතුටින් ජීවත් වෙනවා. ඒ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට සාර්ථක ලෙස අර්බුදයෙන් ගොඩගත් නිසයි. ඒ වගේම උතුර සහ නැඟෙනහිර පළාත්වල ජීවත් වන අපේ ජනතාව ද සතුටින් ජීවත් විය යුතුයි කියා සිහිනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකිනවා. කොළඹ ප්‍රදේශයේ ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනතාව ජීවත් වන ආකාරයටම උතුර සහ නැඟෙනහිර පළාත්වල ජීවත් වන ජනතාව ද ජීවත් විය යුතු බව එතුමාගේ අදහසයි. මුස්ලිම් සංවිධාන සියල්ලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටින බව කිව යුතුයි.