Saturday, May 10, 2025
Home » භීෂණය යළි පැතිරේ

භීෂණය යළි පැතිරේ

-ජනමාධ්‍ය‍ෙව්දීන්ගේ බෙල්ල කැපේ

by sachintha
September 16, 2024 3:35 am 0 comment

මැතිවරණ කොමිසම, ව්‍යවස්ථාදායක සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කරන ලද සාමාජිකයන්ගෙන් සමන්විත වේ. එම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට අදාළ වන කරුණක් පිළිබඳව තීන්දුවක් ගනු ලබන්නේ නම් එය මැතිවරණ කොමිසන් සභාව විසින් අනුමත කළ යුතුව ඇත. මෙම තීන්දුව මැතිවරණ කොමිසන් සභාව විසින් ගනු ලැබූවක් ද? එසේ නොමැතිව කොමිසමේ නිලධාරියකු විසින් ගනු ලැබූවක් ද? යන්න පිළිබඳව ද මහජනතාව දැනුම්වත් කළ යුතුව ඇත.

දිවයින ඉරිදා සංග්‍රහයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචිත “NPP කතාව JVP ක්‍රියාව” කෘතිය දොරටවැඩුම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවය මැතිවරණ කොමිසම විසින් නැවැත්වූ ආකාරය පිළිබඳ මීට පෙර “පසුබිම” තීරුවෙන් සාකච්ඡා කළෙමි. මෙරටේ භාෂණයේ නිදහස සහ ප්‍රකාශනයේ නිදහසට බාධා වන අයුරින් එවැනි ක්‍රියාමාර්ගයක් මැතිවරණ කොමිසම විසින් අනුගමනය කරන ලද්දේ කවර පදනමක් මත ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසම විසින් කරුණු පැහැදිලි කිරීමක් නිකුත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව එහි දී පෙන්වා දුනිමි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කර තිබියදී පොතක් දොරට වැඩීමක් තහනම් කිරීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරන ලද්දේ කුමන හේතුවක් නිසා ද යන්න දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇත.

මෙ පොත දොරට වැඩීම මඟින් කවර මැතිවරණ නීතියක් උල්ලඝනය වී තිබේ ද? එම උත්සවය අවලංගු කරන ලෙස කිසියම් පුද්ගලයකු හෝ දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ ද?

උත්සවය අවලංගු කිරීමට පෙර පොතේ අන්තර්ගතය මඟින් කිසියම් මැතිවරණ නීතියක් උල්ලංඝනය වේ දැයි කොමිසම එම පොත කියවීමෙන් තොරව විනිශ්චය කරන ලද්දේ කවර පදනමක් මත ද? කොමිසමේ නිලධාරීන්ට සංවිධායකයන් විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පොතේ පිටපත් කිහිපයක් පැමිණි සිටි ආරාධිතයන්ට පිරිනැමීම අනුමත කරන ලද නමුත් උත්සවයේ ආරාධිත දේශන අවලංගු කළ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම ආරාධිත දේශන මඟින් මැතිවරණ නීති උල්ලංඝනය වේ යැයි කොමිසම විසින් නිශ්චය කරන ලද්දේ කවර කරුණු පදනම් කරගෙන ද? මගේ එම ලිපියෙන් ඉහත කී කරුණු පෙන්නුම් කරන ලද නමුදු මැතිවරණ කොමිසම විසින් ඒ පිළිබඳව මේ දක්වාම කිසිදු කරුණු පැහැදිලි කිරීමක් කර නැත.

මැතිවරණ කොමිසම, ව්‍යවස්ථාදායක සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කරන ලද සාමාජිකයන්ගෙන් සමන්විත වේ. එම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට අදාළ වන කරුණක් පිළිබඳව තීන්දුවක් ගනු ලබන්නේ නම් එය මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කළ යුතුව ඇත. මෙම තීන්දුව මැතිවරණ කොමිසන් සභාව විසින් ගනු ලැබූවක් ද? එසේ නොමැතිව කොමිසමේ නිලධාරියකු විසින් ගනු ලැබූවක් ද? යන්න පිළිබඳව ද මහජනතාව දැනුම්වත් කළ යුතුව ඇත.

ප්‍රවීණ ලේඛක එරික් ජනප්‍රියට මුහුණදීමට සිදු වූ මෙම තත්ත්වය පිළිබඳව සමහර අය විරෝධය ප්‍රකාශ කර තිබූ නමුදු රටේ මහජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන කිසිදු සංවිධානයක් ඒ පිළිබඳව ප්‍රකාශයක් හෝ නිකුත් කර තිබුණේ නැත. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන නමුදු ඒවා ද ඒ පිළිබඳව එක වචනයක් හෝ කතා කර තිබුණේ නැත. රටේ ජනමාධ්‍ය‍ෙව්දීන්ගේ අයිතින් වෙනුවෙන් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් කොතෙකුත් හඬ නඟන එකදු සංවිධානයක් හෝ ඉදිරිපත් වූයේ ද නැත. සමාජ මාධ්‍යවල විවිධ දේ ඉදිරිපත් කරන පුද්ගලයන්ට එරෙහිව නීත්‍යනුකූල කරුණක් මත කවරෙකු හෝ පියවර ගන්නා විට එම පුද්ගලයා ජනමාධ්‍යකරුවකු ලෙස හඳුන්වමින්, ඊට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන විසින් පියවර ගන්නා ආකාරය අපි දැක ඇත්තෙමු. එහෙත් එරික් වෙනුවෙන් පෙනී සිටීමට මාධ්‍ය වෘත්තීය සමිති හෝ නිදහස් මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඉදිරිපත් වූ බවක් නොපෙනේ.

එම තත්ත්වය තුළ එරික්ගේ මාධ්‍ය ජීවිතය අවසන් කිරීමට මාධ්‍ය පාලකයන්ට සිදු වී තිබේ. උපාලි පුවත්පත් සමාගම විසින් කිසිදු හේතුවක් නොදක්වා දිවයින ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍ෙව්දී එරික් ගාමිණී ජිනප්‍රිය මහතාගේ වැඩ තහනම් කර තිබේ. මේ පිළිබඳව සමාජ මාධ්‍යවල තොරතුරු පළ කර තිබුණි. එක ෆෝස්ටුවක සඳහන්ව තිබුණේ “අනුර කුමාර මාධ්‍ය දඩයම ආරම්භ කරයි. පොත ගිනි තබනු නැත්නම් මරා දමනවා. දිවයින පුවත්පතේ මාධ්‍ය‍ෙව්දී එරික්ගේ වැඩ තහනම් කරයි” යනුවෙනි. තවත් මාධ්‍ය කොලමක සඳහන් කර තිබුණේ එරික් පුවත්පතෙන් අස් නොකරන්නේ නම් පුවත්පත් ආයතනය ගිනි තබන බවට තර්ජනය කර තිබූ බවයි. කවර ආකාරයෙන් හෝ දිවයින පාලකයන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර එරික්ගේ වැඩ තහනම් කර තිබේ. යළි බලගැන්වෙන භීෂණය හේතුවෙන් බෙලි කැපීමට ලක්වූ ප්‍රථම මාධ්‍ය‍ෙව්දියා බවට පත් වී ඇත.

සියල්ල ප්‍රතිනිර්මාණය වෙමින් පවතියි. පුනරුදය දැනටමත් උදා වී ඇත. 87 -89 කාලපරිච්ඡේදය තුළ මේ රටේ මාධ්‍ය‍ෙව්දීන්, කලාකරුවන්, ලේඛකයන් මුහුණ දුන් භීෂණය නැවත අත්දැකීමට සිදුවන වාතාවරණයක් ගොඩනැඟෙමින් පවතියි. ප්‍රවීණ මාධ්‍ය‍ෙව්දීන් වන තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි ප්‍රවීණ මාධ්‍ය‍ෙව්දීන් සහ කලාකරුවන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ ආකාරය බොහෝ දෙනෙකුට අමතක නොවී ඇතැයි සිතමි. ඉහත කී ලිපියේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මේරියන්ස්ලාට එක විහිළුවක් නිසා සමාව ගැනීමට සිදු වූ ආකාරය පෙන්වා දුනිමි.

මුලින්ම මේරියන්ස්ලාට ජාතික ජන බලවේගය වෙත කනගාටුව පළ කර සමාව ගැනීමට සිදුවිය. ඉන්පසු එම කණ්ඩායමේ අය විසින් ප්‍රකාශ කළේ මේ රටේ තවමත් භාෂණයේ නිදහස පවතින බවකි. එසේ වුවද එම කණ්ඩායමේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට ඔවුහු ප්‍රකාශ කළහ. කෙසේ වුවද මේරියන්ස්ලාට මුහුණදීමට සිදු වූ මෙම තත්ත්වය පිළිබඳව ද කලාකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ප්‍රකාශ කරන කිසිදු සංවිධානයක් හෝ ආයතනයක් පෙනී සිටියේ ද නැත. මහජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි සඳහන් කරන කිසිවකු ද ඉදිරිපත් වූ බවක් නොපෙනේ.

එහෙත් මෙරට කලාකරුවෝ සැලකිය යුතු පිරිසක් පසුගියදා ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දීමට රැස්ව සිටි බවත් මාධ්‍යවල පළ විය. පුදුම විය යුත්තේ එම රැස්වීමට මේරියන්ස් කණ්ඩායමේ සාමාජිකයන් ද සහභාගි නොවුණානම්ය. ඔවුන්ට සමාව ගැනීමට සිදු වූ වාතාවරණයක් තුළ සහ මරණ තර්ජන එල්ල වූ වාතාවරණයක් තුළ බේරී සිටීම සඳහා එවැනි රැස්වීම් මග හැරීමට නොහැකි භීෂණයක් රට තුළ ගොඩ නැගී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් හඬ නඟන, උපදෙස් දෙන සංගීත්ලාට තම සහෝදර කලාකරුවන්ට මුහුණදීමට සිදුව ඇති තර්ජන සහ භීෂණය පිළිබඳ කිසිදු හැඟීමක් ඇති බවක් නොපෙනේ.

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂයකි. අනුර කුමාර දිසානායක මහතා එම අපේක්ෂකයාය. ඔහු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර නැත. ඔහුගේ ආණ්ඩුවක් ද රටේ නොපවතී. ඔවුන්ට සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතර දෙනෙකු පමණි. පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති බැවින් එවැනි මහජන නියෝජිතයන් ද නැත. සිටින්නේ සමුපකාර සභාපතිවරුන් කිහිපදෙනෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් පමණි. එවැනි තත්ත්වයක් තුළ මේ තරම් භීෂණයක් පැතිරවීමට හැකි නම් බැරිවේලාවත් ජනාධිපතිවරණය ජයගැනීමට සිදුවුවහොත් මහජනතාවට මුහුණ දීමට සිදුවන මහා භීෂණයේ සංකේත දැන් මතු වෙමින් පවතියි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා දමා ඇත. ඒ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමීන් අතර ඇති වූ ගැටුමක් හේතුකරගෙනය. 87 – 89 කාලයේ භීෂණය අමතක කළ යුතු බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇත. නවක වධයට විරුද්ධ වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත සිසුවා ඝාතනය කරන ලද්දේ ඉන් බොහෝ කලකට පසුවය. රට පුරා විවිධ පුද්ගලයන්ගේ නිවාස අනූපහකට වැඩි ප්‍රමාණයක් ගිනි තබන ලද්දේත්, හෝටල් ආදී ව්‍යාපාරික ස්ථාන ගිනිතබා කොල්ල කන ලද්දේත් අරගලය අවස්ථාවේදීය. ත්‍රස්තවාදය සහ භීෂණය පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමට ඉතා මෑත කාලයේදීම රටේ ජනතාවට සිදුව ඇති බව එම කරුණුවලින් පැහැදිලි වේ.

ලාල් කාන්ත මහතා විසින් අධිකරණ ක්‍රියාවලිය ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. මැතිවරණයෙන් පසුව ගැටුම් ඇතිවුවහොත් ඒ සඳහා මැදිහත්වීමට ජාතික ජන බල වේගයේ කොට්ඨාස බල මණ්ඩලවලට හැකියාව ඇති බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. ඒ සියල්ල තුළ මතකයට නැගෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැලෑ උසාවි විසින් ඡන්දය ලබා දුන් පිරිස්වල අත්කපා දැමීමට, ඝාතනය කිරීමට තීන්දු ගත් ආකාරයයි.

මහජනතාව මෙම සිදුවීම් පිළිබඳව පැහැදිලි අවබෝධයකින් කටයුතු කරන බව කවර දේශපාලන පක්ෂයක් වුවද වටහාගත යුතුව ඇත.

ජනමිත්‍ර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT