මින් දශක පහකට එපිට කාල සීමාවේදී මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර තුන්පනේ කොට්ඨාසයේ මුරුද්දෙණිය ග්‍රාමයේදී සැප්තැම්බර් මස 15 වන දිනක කුලසේකර මුදියන්සේලාගේ හීන් බණ්ඩා මැතිදුන් හා රණසිංහ මුදියන්සේලාගේ හීන් මැණිකේ මැතිනියට දාව උපත ලැබූ උපාලි බණ්ඩාර කුලසේකර කුමරුවා සහෝදරයන් සිව් දෙනකු හා සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා විය. සිය සහෝදර සහෝදරියන් සමඟ සතුටින් කුඩා අවධිය ගත කළ උපාලි බණ්ඩාර දරුවා මුරුද්දෙණිය කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරනු ලැබීය.
පහ වසර අධ්‍යාපනයෙන් අනතුරුව 1979 වසරේ ගුන්නෑපාන පන්සලට පැමිණි උපාලි බණ්ඩාර කුමරුවා වර්ෂ 1981 පෙබරවාරි 6 වැනි දින ප්‍රවෘජ්‍යා භුමියට ඇතුළත් වූයේ වර්තමාන අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහා නායක ස්වාමීන් වහන්සේ සහ අමුණුගම ශ්‍රී පේරතන නාහිමි උපාධ්‍යායත්වයෙන් හා මුරුද්දෙණියේ ධම්මරතන නාමයෙනි. සිය පිරිවෙන් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කර ධම්මරතන නාහිමියෝ අස්ගිරි මහා විහාරයේ උපෝසථාගාරයේදී උපසම්පදාවට ඇතුළත් වූයේද සිය පැවිදි උපාධ්‍යායන් වහන්සේලා බවට පත් වූ අස්ගිරි මහා නාහිමියන් මෙන්ම අමුණුගම ශ්‍රී පියරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුද මැනවින් හැදෑරූ මුරුද්දෙණිය ධම්මරතන නාහිමියන් වෙත පළමුවරට උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ තේවාව භාර කටයුතු කිරීමට වර්ෂ 2001 වසරේදී භාග්‍යය ලැබූ අතර ඒ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ධුරන්ධර වැඩ විසූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ආරාධනයෙනි. එලෙස කටයුතු සිදුවන අතරතුර 2003 වර්ෂයේදී තවත් භාග්‍යවන්ත සිදුවීමක් උන්වහන්සේගේ දිවියේ සිදුවිය. එනම් මෙරට ඇති දස දහස් ගණනක් වූ වෙහෙර විහාරස්ථාන අතරින් උතුම් වූ සම්බුදු පහසින් පුද ලද සොළොස්මස්ථාන අතරින් එකක් වූ ඓතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාරත්වයට පත්වීමයි. එතැන් සිට මේ දක්වා වත්මන් මුතියංගණ රජමහා විහාරස්ථාන සංවර්ධනය නියමුවා වූයේ ධම්මරතන නාහිමියන් වහන්සේය. එලෙසම මුතියංගණ පෙරහර මංගල්‍යයද වාර්ෂිකව අතිඋත්සව ශ්‍රීයෙන් සිදු කරනු ලබන්නේ උන්වහන්සේගේ මෙහෙය වීම මතය, අස්ගිරි මහා විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභිකයකු ලෙස අස්ගිරි විහාර පාර්ශ්වයේ කර්තව්‍යයන් මෙන්ම සිය ගුරුදේවෝත්තම අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ සියලු කටයුතු සොයා බලා ඉටු කරනු ලබන්නේද ධම්මරතන නාහිමියන් විසිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් ආචාර්ය උපාධියද ලබා ගත් ධම්මරතන නාහිමියන්, වත්මන් මෙසිරිලක වැඩ සිටින වියත් යතිවරයාණ කෙනෙකු බව නොම හෙළා පැවසිය හැකිය. සිය යති පරපුරේ අභිමානය මෙන්ම අස්ගිරි විහාරීය සඟ පරපුරේ අභිමානයද රැගෙන කටයුතු කරනු ලබන සංඝ ශෝබන ගුණ සපිරි අනතිමානි උජුපටිපන්න ගුණ සපිරි යතිවරයාණ කෙනකු වන මහා විහාර වංශික අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික මුතියංගණ රජමහා විහාරයේ භාරකාර ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේට ආයු – ආරෝග්‍යාධී සම්පත් සපිරි සුබ උපන් දිනයකට ආසිරි ප්‍රාර්ථනා කරන්නෙමු. චිරන් ජයතු නාහිමියෙනි.
තරංග වික්‍රමාදර
ආගමික අංශ ප්‍රධානී ස්වර්ණවාහිනිය සහ මොනරා මාධ්‍ය ජාලය