Saturday, May 10, 2025
Home » ඇතැම් පක්ෂ මෑන් පවර් ඒජන්සිවලින් සෙනඟ ගෙනත් ජනරැලි මවනවා

ඇතැම් පක්ෂ මෑන් පවර් ඒජන්සිවලින් සෙනඟ ගෙනත් ජනරැලි මවනවා

-විජයදාස මල්වතු නාහිමි හමුවේ කියයි

by sachintha
September 16, 2024 3:00 am 0 comment

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අද වන විට ලාභදායි ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන බවත් විවිධ පක්ෂවල හා අපේක්ෂකයන්ගේ අවශ්‍යතාව මත රැස්වීම් සංවිධාන කිරීමට මෑන් පවර් ඒජන්සි බිහි වී ඇති බවත් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවෙහි පැවසුවේය.

රැස්වීම්වලට අවශ්‍ය මිනිසුන් ගණන 1000, 2000, 3000ක්ද කියා එම ඒජන්සිවලට මුදල් බැන්ද විට රැස්වීම තිබෙන තැනට, කියන වෙලාවට බස්වලින් මිනිසුස් ගෙනැවිත් බස්සන බවත් හෙතෙම කීවේය.

මේක එක එක පැකේජ් ක්‍රමයට ක්‍රියාත්මකයි. එක පුද්ගලයෙක් රැස්වීම් භූමියට ගේනවට රුපියල් 1500 සිට 3000ක් දක්වා අය කරනවා. ඉන්න පැය ගාණ, රැස්වීමට සහභාගි කරවන පිරිස හා රැස්වීම පැවැත්වෙන ප්‍රදේශය අනුව අය කරන මුදල වෙනස් වෙනවා. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ඕනෑම තැනකට මේ මෑන් පවර් ඒජන්සි මඟින් සේවාව ලබා දෙනවා. මේවාට ගෙවලා තමයි ඇතැම් පක්ෂ ජනරැල්ලක් තියෙන බව රටට මවලා පෙන්වන්නේ යැයිද හෙතෙම පැවසුවේය.

රට අස්ථාවර කිරීමට විදේශ රටවලින් මුදල් පොම්ප කළාද යන සැකයක් මතුවන තරමට ඇතැම් පක්ෂ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වැය කරමින් සිටින්නේ යැයි ද හෙතෙම කීවේය.

වංචාව හා දූෂණය නැති කරන්නට බලය ඉල්ලන මේ පක්ෂ මැතිවරණ ව්‍යාපාරය සිදු කරමින් සිටින්නේ ද දූෂිත ලෙසින් යැයි කී ඒ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.

මැතිවරණ ව්‍යාපාරය සඳහා විශාල ලෙස මුදල් වියදම් කරන ප්‍රධාන තුන් හතර දෙනාගේම මාසික ආදායම රුපියල් ලක්ෂ 04කට අඩුයි. එවැනි පසුබිමක මෙතරම් ධනස්කන්ධයක් ඔවුන්ට ලැබෙන්නේ කොහෙන්ද කියන එක ප්‍රශ්නයක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් තමන් ගේ වත්කම් රටට හෙළි කළ යුතුයි. ලක්ෂ තුන හතරක ආදායමක් මාසෙකට තියෙන අය කෝටි 186ක් ඡන්දෙට වියදම් කරන්න මැතිවරණ කොමිසමෙන් අවසර ගත්තා. ලක්ෂ තුන හතරක ආදායමක් තියෙන අය මේ තරම් මුදල් වියදම් කරන්නේ කොහොමද ? ඇතැම් අපේක්ෂකයන් දැනටමත් වියදම් සීමාව ඉක්මවා වියදම් කරලා තියෙනවා. අල්ලස්, කොමිස්, පාතාලයෙන්, කුඩු ජාවරම්කාරයින්ගෙන් ගන්න මුදල් නොවන්නට මේ රට අස්ථාවර කරන්න විදේශ රටකින් මේ සල්ලි පොම්ප කළාද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා. මේවාට උත්තර දෙන්න දවසක් එනවා. මැතිවරණය අවසන් වෙලා සති තුනක් ඇතුළත දිවුරුම් පෙත්සමකින් සහතික කරලා පෙන්වන්න ඕන මේ මුදල් තමන්ට කොහෙන්ද ලැබුණේ, කොච්චර මුදලක් වියදම් කළාද කියන කාරණය. අධිකරණයට මේක හොයන බලය දීලා තියෙන්නේ. මැතිවරණ පෙත්සම දාන්න තිබුණේ මැතිවරණය නිමාවෙලා දින 21කින්. අපි ඒක දින 42ක් දක්වා දික් කළා. මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් සොයා බලා වරදක් සිදුව තිබෙන බව තහවුරු වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබෙනවා පත්වන කුමන හෝ ජනාධිපතිවරයාගේ පත්වීම අහෝසි කරන්න. ආණ්ඩුව නොමැතිව ඒ බලය ක්‍රියාත්මක කරන්න අවශ්‍යය ස්වාධීන බලය අධිකරණයට දීලා තියෙනවා. දූෂණය නවත්වන්න කියලා එන අය මැතිවරණය ව්‍යාපාරය කරන්නේ දූෂිත විදිහටයි. මැතිවරණ ව්‍යාපාරයම හොරකම් කළ සල්ලිවලින් කරනවා නම් ඒ ගොල්ලෝ ඇවිත් අල්ලන හොරා කවුද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා යැයිද කීවේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT