Sunday, May 11, 2025
Home » සයිරන් නළා ගසමින් VIP ලීලාවෙන් ගිය සැප රියේ ගංජා

සයිරන් නළා ගසමින් VIP ලීලාවෙන් ගිය සැප රියේ ගංජා

-පිස්තෝලයකුත් හමුවෙයි

by sachintha
September 16, 2024 12:54 am 0 comment

ප්‍රභූවරයකු මෙන් සුඛෝපභෝගී මෝටර් රථයක සයිරන් නළා නාද කරමින් එම වාහනයේ වී.අයි.පී. විදුලි පහන් දල්වාගෙන ගමන් කළ අයෙක් පොලිස් අණ නොතකා යද්දී කහවත්ත පොලිසියේ නිලධාරියකු ඔහු පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි දී වාහනය තුළ තිබී ගංජා සහ තහනම් පිහියක්ද අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය පවසයි. බීමත්ව සිටි මෙම පුද්ගලයා මෙල්ල කර ගැනීමට ඔහු පසු පස ලුහුබැඳ ගිය පොලිස් නිලධාරියා විසින් පසුව තවත් පොලිස් නිලධාරියකුගේ සහාය ලබාගෙන තිබිණි. පෙරේදා (14) දා උදෑසන දහයට පමණ මෙම පුද්ගලයා ඔහුගේ සුපිරි වාහනය රත්නපුර දෙසින් කහවත්ත නගරය පසුකර වැල්ලදුර දෙසට ධාවනය කරද්දී තනිවම රාජකාරියට යමින් සිටි කහවත්ත පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු ගමන් කළ යතුරු පැදියද පසුකර ගෙන ගොස් තිබිණි.

එම වාහනය වැල්ලදුර ප්‍රදේශයේ නවතා ඇති අතර පොලිස් නිලධාරියා එම ප්‍රදේශයේ රාජකාරි කරද්දී යළිත් සැකකරු ඔහුගේ වාහනය අධික වේගයෙන් අපරික්ෂාකාරි ලෙස ධාවනය කර ඇති අතර සයරන් නළා නාද කරමින් එලෙස ධාවනය කරමින් තවත් වාහන කිහිපයකට අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කළ නිසා නවත්වන ලෙස පොලිස් නිලධාරියා නියෝග කළද එය නොසලකා හැර ඉදිරියට ධාවනය කර තිබේ.

ඒ අවස්ථාවදි රථ වාහන පොලිස් නිලධාරියා ඔහුගේ යතුරු පැදියෙන් සැකකරු ලුහුබැඳ ඇතැයිද සැකකරු රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ සිට වැල්ලදුර අරුක්මුල්ල අතුරු මාර්ගයට වාහනය හරවා ධාවනය කර ඇතැයිද පොලිසිය පවසයි. එම ප්‍රදේශයේ සුසාන භූමි පාරේ වාහනය නවතා ඇති අතර ඒ අවස්ථාවේදී ඔහු ලුහුබැඳ ගිය පොලිස් නිලධාරියාද එතැනට පැමිණ තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු පොලිස් නිලධාරියාට බාධා කරමින් හැසිරීම නිසා ඔහු පාලනය කර ගැනීමට තවත් පොලිස් නිලධාරියකු ද කැඳවීමට සිදු විය. සැකකරු කහවත්ත මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ විට ඔහු බීමත්ව සිටි බව හෙළි වූ බව පොලිසිය පවසයි. ගංජා ගෑම් එකසිය පහක්ද රම්බෝ පිහියක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. කහවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගේ සහ රථ වාහන අංශයේ ස්ථානාධිපති එම්.ඩී.යූ. ප්‍රේමනාත් මහත්වරුන්ගේ මෙ‍ෙහයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ. කහවත්ත පොලිසියේ රථවාහන අංශයේ සැරයන් (75240) දිනේෂ් මහතා සැකකරු ලුහුබැඳ ගොස් ඇති අතර සැරයන් රත්න මහතා ද පරීක්ෂණ සඳහා එක්වූහ.

අපරික්ෂාකාරි ලෙස රිය පැදවීම, බීමතින් රිය පැදවීම ගංජා ළඟ තබාගෙන සිටීම සහ තහනම් ආයුධයක් ළඟ තඹාගෙන සිටීම සම්බන්ධව සැකකරු පැල්මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කහවත්ත – නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT