Home » සජිත් පක්ෂය මෙහෙයවන්නේ අලුතින් එක්වූ අයගේ උපදෙස්වලටයි

සජිත් පක්ෂය මෙහෙයවන්නේ අලුතින් එක්වූ අයගේ උපදෙස්වලටයි

-එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

by sachintha
September 16, 2024 2:00 am 0 comment

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂය මෙහෙයවනු ලබන්නේ පක්ෂය සමඟ මෑතකදී සම්බන්ධ වූ පිරිසකගේ වුවමනාවලට අනුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙතෙක් සමගි ජන බලවේගය සමඟ කටයුතු කළ එම කණ්ඩායමේ හොඳම පිරිස එහි නායක සජිත් ප්‍රේමදාස විසින් පැත්තකට දමා ඇති බවත් මේ නිසා එහි බොහෝ ජ්‍යෙෂ්ඨයන් කලකිරී සිටින බවත් පැවසූ විජයවර්ධන මහතා එවැනි නායකයකුට මේ රට භාර දුන්නොත් රටේ දියුණුව ඇනහිට තවත් වසර දෙකක් ගත වීමටත් පෙර මැතිවරණ පැවැත්වීමට සිදුවනු ඇති බවත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමේ අරමුණින් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පසුගියදා (13) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා,

මේ රටට ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ අනුව එතුමා තමයි අප සියලු දෙනාට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හැදුවේ. රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණත් එතුමා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා. ඒ නිසා අප සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවර මැතිවරණයේදී එතුමාට සහාය දක්වන්න. මොකද ජනාධිපතිතුමා සියලු පක්ෂ ඒකරාශී කරගෙන රටේ විශාල පරිවර්තනයක් කෙරුවා. මේ රට වැටිලා තිබුණු අවස්ථාවේදී අභියෝගය භාරගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ශක්තිමත් නායකත්වය ලබා දුන්නේ එතුමායි. බංකොලොත් කියන ලේබලයෙන්ද රට නිදහස් කරලා දුන්නා. ඇත්ත වශයෙන්ම ඒක අපට ආඩම්බරයක්.

මේ නිසා සැප්තැම්බර් 21 වැනිදාට මේ රටේ ජනතාව ඉතාම බුද්ධිමත් ලෙස තම තීරණය ගනු ඇති බව අපට විශ්වාසයි. කිසිම අත්දැකීමක් නැති, පළපුරුද්දක් නැති අපේක්ෂකයන් දෙදෙනකු පසුපස තවත් යනවාද? ආර්ථික අර්බුදයේදී වගේම තීරණාත්මක සෑම අවස්ථාවකදීම පරිණත ලෙස කටයුතු කරපු, රට හැදීමේ සැලසුම හා වැඩපිළිවෙළ තියෙන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවද කියන කාරණය පිළිබඳ ජනතාව දැනටමත් තම තීරණය අරගෙන ඉවරයි. ඒ වගේම මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අනුර කුමාර දිසානායක මහතා යම් හෙයකින් හෝ ජයග්‍රහණය ලැබුවහොත් එතැන් සිට රටට අනාගතයක් නැති නිසා බොහෝ පිරිසක් රට හැර දමා යෑමේ බලාපොරොත්තුවෙනුත් ඉන්නවා. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ අපට කිසිම සැකයක් නෑ. එතුමා සැප්තැම්බර් 21 මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා ඒකාන්තයි, යැයි පැවසීය.

නෙත්මි පූජනී රත්නායක සහ මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT