Home » දේශපාලනික අභියෝග හමුවේ වරදාන වරප්‍රසාදවලට ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ

දේශපාලනික අභියෝග හමුවේ වරදාන වරප්‍රසාදවලට ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ

-ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ

by sachintha
September 16, 2024 2:00 am 0 comment

දේශපාලනික වශයෙන් කුමන අභියෝගයක් පැමිණියද වරදාන වරප්‍රසාදවලට ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

දේශපාලනික වශයෙන් වැඩපිළිවෙළක් සමඟ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බව පෙන්වාදෙන ඒ මහතා රැල්ලට හසු වී තම දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ද පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මහරගම නගරයේදී පසුගියදා (11) පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“අපේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ ආසනයෙන් ආසනයට. අප සති පහක මැතිවරණයක් මෙහෙයවන්නේ. අප අවුරුදු දෙකකට කලින් ලෑස්ති වුණේ නැහැ. ඒ සති පහ තුළ අප හැම ආසනයකටම යන්න ඕනෑ. මවුපියන්, පාක්ෂිකයන් මුණගැසෙන්න ඕනෑ. ඔබ වෙනුවෙන් අපේ වැඩපිළිවෙළ පිළිබඳ කතා කරන්න ඕනෑ. අප රට ගොඩනඟපු දේශපාලන පක්ෂයක්. අපට ප්‍රතිපත්තියක් තිබෙනවා. අප කාලයෙන් කාලයට අවස්ථාවාදීව වරදාන වරප්‍රසාද පාවා දෙන්නේ නැහැ. ඒ වගේම අප වැඩපිළිවෙළක් සමඟ දේශපාලන කරනවා. අප පැහැදිලිවම විශ්වාස කරනවා මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් තරුණයන් වෙනුවෙන් තාක්ෂණික විප්ලවයක් සිදු කළ යුතු වෙනවා. එක් අවස්ථාවක අප පෝලිම් යුගයක් ගැන කතා කරනවා. නමුත් මිල වැඩි කරලා ඉල්ලුම අඩු කරලා පෝලිම් ඉවත් කළා කියා ඵලක් නැහැ. අප ආර්ථිකය හදන්න ඕනෑ. අනෙක් පැත්තෙන් පාස්පෝට් පෝලිම ඉවත් කරන විට දවසට දෙන ප්‍රමාණය අඩු කළා කියා පොලිසිය යොදවා පෝලිම් ඉවත් කළා කියා විසඳුම ලැබෙන්නේ නැහැ.

තාක්ෂණයට මෙරට රාජ්‍ය පාලනය පරිවර්තනය කිරීම තුළින් පමණයි ගෞරවාන්විත රාජ්‍ය පාලනයක්, රාජ්‍ය සේවයක් ගොඩනඟන්න පුළුවන්. අනෙක් පැත්තෙන් තරුණ පරපුර අපේක්ෂා කරන රැකියා අප නිර්මාණය කළ යුතු වෙනවා. ඊළඟ අවුරුදු 10 තුළ ලක්ෂ 20ක රැකියා නිර්මාණය කිරීම තුළින් මේ රටේ විරැකියා ප්‍රතිශතය බින්දුවට ගේන්න පුළුවන්. ව්‍යවසායකයන්ට අප උදවු කරන්න ඕනෑ. වෙළෙඳ ව්‍යාපාරවල අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට සාධාරණ බදු ප්‍රතිපත්තියකට පරිවර්තනය කළ යුතු වෙනවා. සාධාරණ ලෙස බදු ගෙවන්න අපේ රටේ ජනතාව සූදානම්. කාලයෙන් කාලයට පත්වන ආණ්ඩු තමන්ගේ ප්‍රතිපත්ති මත බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න යන විට වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන්න අපහසු වෙනවා. රැකී රක්ෂා උත්පාදනය වීම නතර වෙනවා. දරුවාගේ පාසල් අධ්‍යාපනය තුළ අප අපේක්ෂා කරන්නේ කුමක්ද? උසස් පෙළින් පසුව දරුවට විශ්වවිද්‍යාලය දක්වා යන්න නිදහස දිය යුතු වෙනවා.

අනෙක් පැත්තෙන් වෘත්තීය පුහුණුව, කාර්මික පුහුණව සහ තාක්ෂණය අනුව තමාගේ හෙට දවස පිළිබඳ මවුපියන්ටත් දරුවන්ටත් නිර්මාණය කර ගන්න අවශ්‍ය වැඩපිළිවෙළ අප හදා දෙන්න ඕනෑ. ඒ වගේම සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් පැවතිය යුතු වෙනවා. දේශපාලන වේදිකාවේ කාලයෙන් කාලයට මැතිවරණ ළං වන විට බොහෝ අයට පොරොන්දු දේශපාලනය මතක් වෙනවා. එක් පක්ෂයක් පඩිය 25,000 කින් වැඩි කරනවා කිව්වොත් තවත් පක්ෂයක් 50,000කින් පඩි වැඩි කරනවා කියනවා. නමුත් මීට මාස හයකට පෙර කිව්වේ බදු වැඩි නොකර කිසිසේත්ම පඩි වැඩි කරන්න බැහැ කියලයි. ඡන්දය ළං වන විට අරදේ වැඩි කරන්න පුළුවන් මේ දේ වැඩි කරන්න පුළුවන් කියා බොහෝ අය කියනවා. මේ සම්ප්‍රදායෙන් අප මිදෙන්න ඕනෑ. උද්ධමනයට අනුපාතිකව වැටුප් වැඩි කරන ක්‍රමවේදය අප හඳුන්වා දෙන්න ඕනෑ. පෞද්ගලික අංශයටත් මෙය පොදුයි. අපේ ඉලක්කය කුමක්ද? ඊළඟ ඉලක්කය කුමක්ද?

ඊළඟ වසර 10 තුළ අපේ රටේ ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 180 දක්වා පරිවර්තනය කිරීමයි. ඒ වෙනුවෙන් තිබෙන සැලසුම කුමක්ද? අප පැහැදිලිවම දේශීය සහ විදේශීය ආයෝජකයා ආරක්ෂා කරනවා. දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම තුළ නව රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන් වෙනවා. ශක්තිමත් දේශීය ව්‍යාපාර පැලැන්තියක් අපේ රටේ නිර්මාණය කළොත් පමණයි විදේශ ආයෝජකයෝ ලංකාවට එන්නේ. සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනෑ. ගුවන්තොටුපොළ හා වරායන් කේන්ද්‍ර කරගෙන අවම වශයෙන් ඊළඟ වසර පහ තුළ මගීන් මිලියන 80කට සේවා සපයන මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්කළ යුතු වෙනවා. එවැනි පරිවර්තනයකට යන්න පුළුවන් නම් පමණයි අපට මිලියන 5ක 10ක සංචාරක ව්‍යාපාරයක් කරා යන්න පුළුවන් වෙන්නේ.

අප දේශපාලනික වශයෙන් වැඩපිළිවෙළක් සමඟ ප්‍රතිපත්තියක සිටිනවා. රැල්ලට අපේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. වරදාන වරප්‍රසාදවලට අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න, මවුබිම දියුණු රටක් බවට පරිවර්තනය කරන්න එක්වන්නැයි ආරාධනා කරනවා.”

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා,

“එදා ත්‍රස්තවාදීන් විසින් මහවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අප එහි ගියා. එදා ආණ්ඩුවේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට ගියා. ආණ්ඩුව සුළුතරයක් බවට පත්වුණා. ඒ අවස්ථාවේ ත්‍රස්තවාදීන් විසින් මහවිල්ආරු සොරොව්ව වසා දමලා අක්කර 30,000ට වැඩි ගොවිබිම් ප්‍රමාණයකට ජලය සැපයීම අවහිර කළා. ඒ අවස්ථාවේ තමයි අපේ මන්ත්‍රී කණ්ඩායමක් කන්තලේට ගියේ. මිනිස්සු දහස් ගණනක් කිසිම පහසුකමක් නැතිව එදා සිටියා. පසුව අප කොළඹට පැමිණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙහි භයානක තත්ත්වය කිව්වා. යුද්ධය අවසන් නොකළොත් විශාල විනාශයක් සිදුවන බව කිව්වා. අප ඒ වෙලාවේ කිව්වා මහින්ද රාජපක්ෂ මහතා මේ යුද්ධය අවසන් කර දෙනවා නම් අප පූර්ණ සහාය දෙන්න ඕන කිව්වා. ඒ වගේම අය-වැය සම්මත කර ගන්නත් සහාය දෙන්න ඕන කිව්වා. අප මේ පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දැක්වුවා. නමුත් එතුමා ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කළේ නැහැ.”

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා,

“ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන විශාල පිරිසක් මේ ස්ථානයේ සිටිනවා. අප ලබාදෙන පණිවිඩය අසල්වාසීන්ට, ගම්වැසියන්ට ලබාදෙන්න. ජනාධිපතිවරණයේදී කාටද ඡන්දය දෙන්නේ කියලා මේ දක්වා තීරණයක් නොගත් අයටත් පණිවිඩයක් ලබාදෙන්න. රණවිරුවන් කාණ්ඩය ගැන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මහත්වරු සොයා බලන ආකාරය පසුගිය දිනවල අප දැක්කා. ඔවුන්ගේ සුබසාධනය පිළිබඳ සොයා බලනවා. ඔවුන්ගේ දරුවන්ගේ සුබසාධණයත් බලනවා. මේ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳනවා කියා ඔවුන් ඒකරාශී කරගෙන රැස්වීම් පවත්වනවා. ”

බස්නාහිර පළාත් හිටපු ඇමැති උපාලි කොඩිකාර, මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT