Saturday, May 10, 2025
Home » කලා වැවෙන් දෙන වතුර නියම දිනටම අපිටත් දෙන්න‍

කලා වැවෙන් දෙන වතුර නියම දිනටම අපිටත් දෙන්න‍

-ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලති

by sachintha
September 16, 2024 2:47 am 0 comment

කලා වැවෙන් එකම දිනයකදී වී ගොවිතැන සඳහා මහවැලි ජලය නිකුත් කළත්, තලාව වරාගොඩ ප්‍රදේශයේ ගොවීන් පිරිසකට එම ජලය, කන්නය මැදදී නිකුත් කිරීම හේතුවෙන් සම්පූර්ණ අස්වැන්න තමන්ට අහිමි වන බව එම ගොවියෝ පවසති.

ජලය ප්‍රමාද වී ලැබීම හේතුවෙන් ඒ අවට අක්කර දහස් ගණනක ගොවීන් අස්වැන්න නෙළූ පසු තම ප්‍රදේශයේ ගොවීන්ගේ අස්වැන්න පූදින බවත්, කිලෝමීටර ගණනාවක දුර සිට වන අලින් එම ප්‍රදේශය සොයා පැමිණ ඉතිරිව ඇති සියලු ගොවි බිම් එක රැයින් විනාශ කර දමන බවත් එම පිරිස් මෙහිදී පැවසූහ.

එලෙස විනාශ කර දැමූ වගාවට ගොවි රක්ෂණ මුදල් ලබා ගැනීමට යාමේදී එම කන්නයේ අස්වනු නෙළා අවසන් බවත් මුදල් ගෙවීමට නොහැකි බවත් කියමින් නිලධාරීන් විසින් ගොවීන් ආපසු හරවා එවීම මවිතය දනවන කරුණක් යැයි ඔවුහු පෙන්වා දෙති.

තලාව වරාගොඩ ප්‍රදේශයේ පදිංචි අරුණ හපුහින්න මහතා – “අපේ පාරම්පරික ඉඩම් තමයි මේ වරාගොඩ ප්‍රදේශයේ තිබෙන්නේ. මේ ප්‍රදේශයට පමණක් ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. කලා වැවෙන් ජලයේ නිකුත් කරන ජය ගඟ හරහා පෝෂණය වන සියලු දෙනාට ජලය ලැබුණට පස්සේ, මාසයකට පමණ පසුව අපිට ජලය නිකුත් කරන්නේ. මේක ලොකු අසාධාරණයක්. ඉස්සර මෙහෙම කළේ නැහැ. යෝධ ඇළෙන් ගොවිතැන් කරන ගොවීන් පිරිසක් තමයි මේ ගමේ ඉන්නේ. මෑතක ඉඳලා අපිට ජලය නිකුත් කරන්නේ මහවැලියෙන්. ඒ ජලය නිකුත් කරන්නේ අනිත් සියලුම ප්‍රදේශවලට නිකුත් කරාට පස්සේ ඒ නිසා අපි මූලික ගොවිතැන් කටයුතු අහස් වැස්සෙන් තමයි සිද්ධ කරන්නේ. ඒත් ජලය නිකුත් කිරීම ප්‍රමාද නිසා අපේ ගොයම දැන් තමයි පීදෙන්නේ. එහෙම තියෙද්දි විස්සක, තිහක විතර අලි රංචුවක් ඇවිල්ල වී ගොයම විනාශ කරලා දාලා, හරියට මැෂින් එකකින් ගොයම් කැපුවා වගේ විනාශ කරලා දාලා. අපි ගොවි රක්ෂණයට බැඳිලා ඉන්න නිසා මේ හානිය ගැන කියන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගියා. ග්‍රාම නිලධාරිතුමිය, කෘෂි නිලධාරිනිය දැනුම්වත් කරලා තමයි ගියේ. එතැන හිටිය ඩී.ඕ. මහත්තයා අපිව කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරියා වෙත යොමු කළා. ඒ මහත්තයා කියනවා වගා හානිවලට වන්දි දෙන්න විදියක් නෑ. වන්දි දෙන කාල සීමාව පහුවෙලා කියලා.”

මෙහිදී අදහස් දැක්වූ තලාව, වරාගොඩ ප්‍රදේශයේ පදිංචි හේරත් මදුරසිංහ මහතා:- “මම මේ ගමේ අවුරුදු පනහකට ආසන්න කාලයක් ජීවත් වෙනවා. වන අලින්ගෙන් අපිට හරිම කරදරයි. මේ ගමේ මේ වන විට ජීවිත විශාල ගණනක් අලින්ට බිලි වෙලා තියෙනවා. නිලධාරීන්ට හිසේ කෙස් ගාණට කිව්වත් වැඩක් නෑ. රෑට මේ ගමේ සියලු දෙනා වරින් වර, මාරුවේ මාරුවට, තැනින් තැන ගිනි මැල පත්තු කරලා තමයි වගාව රැක ගන්නේ. මේ වන අලි ගැටලුව වුණත් උග්‍ර වෙන්න මූලික හේතුව තමයි මහවැලි ජලය නිකුත් කිරීමට ප්‍රමාද වීම, එතකොට අපේ අස්වැන්න නෙළන්න ප්‍රමාද වෙනවා. මේවට විසඳුමක් දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

මෙහිදී අදහස් දැක්වූ වරාගොඩ පදිංචි ඩී.එම්.ඩබ්ලිව්. දිසානායක මහතා:- “පරම්පරාවෙන් අපි වී ගොවිතැන් සිද්ධ කළේ යෝධ ඇළෙන්, කාලයක ඉඳලා ඒවා මහවැලියට හරවලා ජලය නිකුත් කිරීම ප්‍රමාද කරලා, මේ බලධාරීන් අපිට ලොකු අසාධාරණයක් සිද්ධ කරනවා. එනිසා මේ යෝධ ඇළෙන් ගොවිතැන් කරන ජනතාව දැඩි අපහසුතාවට ලක්වෙලා ඉන්නවා. අපිට කුඩම්මගෙ සැලකිලි. අපි වලි වැටක් ඉල්ලුවා අලි වැටක් හම්බවුණෙත් නැහැ, වන අලි ගැටලුව විසඳන්න බැරි නම් මහවැලියෙන් අනෙකුත් ගොවීන්ට නිකුත් කරන දිනයේම අපිටත් ජලය නිකුත් කරන්න කියලා අපි බලධාරීන්ට කියනවා.”

අනුරාධපුර සංචාරක

සශිනි මධුෂාණි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT