Home » ටෙස්ට් වරම් ලැබ ලෝක වාර්තා තැබූ මිලාන්ට උපන් ගමෙන් උපහාර

ටෙස්ට් වරම් ලැබ ලෝක වාර්තා තැබූ මිලාන්ට උපන් ගමෙන් උපහාර

by sachintha
September 16, 2024 2:00 am 0 comment

පසුගිය එංගලන්ත සංචාරයේදී ටෙස්ට් වරම් ලැබ ලෝක වාර්තාවකට හිමිකම් කියූ මිලාන් රත්නායක පිළිගැනීමේ උත්සවයක් ඉකුත් 13 වැනිදා ඔහුගේ උපන් ගම වන වාරියපොළදී සිදු විය.

මිලාන් ප්‍රියනාත් රත්නායක ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබුවේ වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඔහු මුලින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර මේ වනවිට මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.

පුත්තලම – කුරුණෑගල මාර්ගයේ සිට රිය පෙරහරකින් කැඳවාගෙන ආ මිලාන් රත්නායක, වාරියපොළ නගර මධ්‍යයේ දී පිළිගනු ලැබුවේ ඔහුගේ මව සහ පියා විසිනි. වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා කරන විට මිලාන්ගේ පුහුණුකරු වූ තවමත් එම විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරන සසංක ගස්පේ මහතා ද මේ අවස්ථාවේදී ඔහුව පිළිගන්නා ලදි. වාරියපොළ නගර මධ්‍යයේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියන්ගේ පිළිරුවට මිලාන් විසින් පුෂ්පෝපහාර දැක්වීම සිදුකරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය වඩුගෙදර සාරානන්ද හිමියන් විසින් කෙටි අනුසාශනාවක් සිදුකරනු ලැබූහ. රැස්ව සිටි පිරිස ඇමතූ මිලාන් රත්නායක පැවසුවේ තමන්ට මෙම තත්ත්වයට පැමිණීමට උදව් උපකාර කළ සැමට සිය ස්තූතිය පුදකරන බවය. තමන් අධ්‍යාපන කටයුතු සහ ක්‍රිකට් ක්‍රීඩාව සමබරව කරගෙන ගිය බව කී ඔහු එය අපහසු කටයුත්‍තක් නොවන බව ද පැවසීය. පිටපළාත්වල ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමට යාමට හැකියාව ඇති බවට තමන් නිදසුනක් බව කී මිලාන් දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන මෙන් මවුපියන්ගෙන් ඉල්ලිමක් ද කළේය.

වාරියපොළ ඩී.එම්. තිලකරත්න බණ්ඩාර පදනම මිලාන් රත්නායක වෙත මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකළ අතර, වාරියපොළ වෙළඳ සංගමය, සුමංගල විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය සහ ප්‍රදේශවාසීන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.

එන්.එම්. රවින්ද්‍ර ප්‍රභාත් වාරියපොළ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT