කටුබැද්ද ධර්ම පර්යේෂණාලයාධිපති හෑගොඩ විපස්සී හිමියන් දක්ෂතා දැක්වූ සිසුවකු වෙත ත්‍යාග සහතික ප්‍රදානය කළ අයුරු
දෙහිවල, ගල්කිස්ස, තරුණ බෞද්ධ සංගමය මඟින් දෙහිවල සහ රත්මලාන ශාසනාරක්ෂක බලමණ්ඩලවලට අයත් දහම් පාසල් සිසු සිසුවියන් අතර, පැවැත්වූ ශ්‍රේණි විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් වෙත ත්‍යාග සහතික හා බැංකු ගිණුම් පොත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පෙරේදා (14) ගාලුපාර එම සංගම් මූලස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී බුදු දහම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් විදේශිකයින් සමඟ සටන්වල නියුතුව සිට දිවංගත අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවකට මල්මාලා පැලැඳීම දෙහිවල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. නන්දසිරි මහතා විසින් සිදුකළේය. එසේම රට ජාතිය ආගම වෙනුවෙන් කටයුතු කළ දිවංගත ඩී.බී. ජයතිලක මහතාගේ පිළිරුවකට මල්දම් පැලඳීම එම සංගමයේ සභාපති රනිල් ප්‍රනාන්දු මහතා සිදුකළේය.
මෙම අවස්ථාවට කටුබැද්ද, ධර්ම පර්යේෂණාලයාධිපති හෑගොඩ විපස්සී නාහිමි, දෙහිවල ශ්‍රාස්ත්‍රානන්ද විහාරාධීෂ්වර දහම් පාසල් ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති කටුගහ ඥානරතන හිමි, දෙහිවල පින්වත්ත පුරාණ විහාරාධිපති ආචාර්ය වල්හපුතැන්නේ නන්ද සුමණ හිමි, නුගේගොඩ නාලන්දාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය තිනියාවල සූනීත හිමි, දෙහිවල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. නන්දසිරි, තරුණ බෞද්ධ සංගමයේ ලේකම් ප්‍රියංගද සිල්වා, එහි භාණ්ඩාගාරික සුදර්ශන පියතිලක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික දිනෙත් එදිරවීර, ඩොනල්ඩ් පෙරේරා, අජිත් ගුරුගේ, සී.එම්. කන්නන්ගර යන මහතුන් ඇතුළු දහම් පාසල් ආචාර්යවරු සිසු සිසුවියෝ සහභාගිවී සිටියහ.
දෙහිවල – ඩී.පී. හේරත්