Home » සුද්දෙක් නීති විරෝධී පිත්තකින් ක්‍රිකට් ගහලා එසෙක්ස් පිලේ ලකුණු කපලා

සුද්දෙක් නීති විරෝධී පිත්තකින් ක්‍රිකට් ගහලා එසෙක්ස් පිලේ ලකුණු කපලා

by sachintha
September 16, 2024 1:59 am 0 comment

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී එසෙක්ස් පිලේ ෆෙරෝස් කුෂි නීති විරෝධී ලෙස සැකසූ ක්‍රිකට් පිත්තකින් පහරදුන් බවට තහවුරුවීමත් සමඟ එම කණ්ඩායම මෙතෙක් තරගාවලියේ ලබාගත් ලකුණුවලින් 12ක් කපා දැමීමට එංගලන්ත ක්‍රිකට් පියවර ගත්තේය. මේ තත්ත්වය හමුවේ එංගලන්ත ප්‍රාන්ත ශූරතා පළමු කොටසේ ශූරතාව පිළිබඳ එසෙක්ස් ක්‍රිකට් පිලේ බලාපොරොත්තු බිඳ වැටෙන තත්ත්වයක් උදාවී තිබේ.

නොටින්හැම්ෂයර් කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී කුෂිගේ පිත්ත පිළිබඳ සිදු කළ මිනුම් මාපකයෙන් අනාවරණයවී ඇත්තේ එම පිත්ත නියමිත උසට හා පළලට වඩා වැඩි එකක් බවය. ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිවලට අනුව, ක්‍රිකට් පිත්තක උස සෙන්ටිමීටර් 96.5ක් විය යුතු අතර, පළල සෙන්ටිමීටර 10.8ට වඩා වැඩි නොවිය යුතු වේ. එමෙන්ම ගැඹුර සෙන්ටිමීටර 6.7ට වඩා වැඩි විය නොහැකි අතර, පිත්තේ දාරය සෙන්ටිමීටර 4ක් නොඉක්මවිය යුතුය. එහෙත් එසෙක්ස් පිලේ ෆෙරෝස් කුෂි භාවිත කළ පිත්ත එම සීමාවන් ඉක්මවා සැකසූ නීති විරෝධී පිත්තක් බවට කරුණු අනාවරණයවී ඇත.

මේ පිළිබඳව එසෙක්ස් සභාපති කීත් ෆ්ලෙචර් මහතා එංගලන්ත ක්‍රිකට් තීරණය විවේචනය කරමින් එය ‘මෝඩ’ තීන්දුවක් ලෙස හඳුන්වාදී ඇත. ෆ්ලෙචර් ප්‍රකාශ කළේ පිත්තේ නිෂ්පාදකයා වන ග්‍රේ නිකොල්ස් ක්‍රිකට් නීති රීති අනුගමනය කරන බව ප්‍රකාශ කරමින් එම පිති එසෙක්ස් පිලට දුන් බවයි.

“එංගලන්ත ක්‍රිකට් මෙය වංචාවක් යැයි සිතූවත්, ෆෙරෝස් තමන් වරදක් කළ බව විශ්වාස කරන්නේ නෑ. ක්‍රීඩකයාට පමණක් නොව මුළු කණ්ඩායමටම මෙයින් දඬුවම් පැමිණවීම අසාධාරණයි. අනික පිතිකරුවෙකු ලෙස මම දන්නවා පිත්තක මිලිමීටර් කිහිපයක් අඩු – වැඩි වුණාට ක්‍රියාකාරීත්වයට එයින් බලපෑමක් නෑ” කීත් ෆ්ලෙචර් මහතා පැවසීය.

කෙසේ වුවද මර්ලිබෝන් ක්‍රිකට් සමාජය හඳුන්වාදී ඇති ක්‍රිකට් ප්‍රමිතිය සපුරාලීමට අපොහොසත්වූ එම පිත්ත යළි භාවිත කිරීමට නොහැකි වනසේ රාජසන්තක කර ඇත

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT