Home » ඩොලර් ඉපදවිය හැකි අපේ ඛනිජ සම්පතින් පලක් ගන්න රට කළ ඇත්තන්ට බැරි වුණා

ඩොලර් ඉපදවිය හැකි අපේ ඛනිජ සම්පතින් පලක් ගන්න රට කළ ඇත්තන්ට බැරි වුණා

-අපේ ජනබල පක්ෂයේ ජනපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න

by sachintha
September 17, 2024 1:50 am 0 comment

සිව් වසරක් තුළ රටේ සියලු ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දීමට හැකි තරම් ඩොලර් උත්පාදනය කළ හැකි ඛනිජ සම්පත් ප්‍රමාණයක් අපේ මහ පොළොවට යට වී තිබෙන බවත්, ඒවායින් ප්‍රයෝජන ගැනීමට තරම් දැනුමක් අවබෝධයක් හා හැඟීමක් මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයන්ට නොතිබුණු බවත් අපේ ජනබල පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මහනුවරදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී කීර්ති වික්‍රමරත්න මහතා මෙසේද පැවසුවේය:

“අද අප මුහුණදී සිටින ප්‍රධාන අභියෝගය රටට අවශ්‍ය තරම් ඩොලර් නොලැබීමයි. මේ සඳහා අපනයනය හැකි තරම් ඉහළ නැංවිය යුතුයි. මිනිරන්වලින් ලබාගන්නා ග්‍රැෆීන් ග්‍රෑම් එකක් සඳහා ජත්‍යන්තර වෙළෙඳපොළේ ඩොලර් 1,000ක මිලක් නියම වී තිබෙනවා. ලෝකයේ හොඳම මිනිරන් අප සතුයි. ඒවා මිනිරන් ලෙසම අපනයනය නොකර ග්‍රැෆීන් බවට පත්කර අපනයනය කරන්න පුළුවන් නම් වසර තුනක් හතරක් වැනි කාලයකදී සම්පූර්ණයෙන්ම විදේශ ණය ගෙවා දැමීමට තරම් ඩොලර් ප්‍රමාණයක් අපිට උත්පාදනය කරගත හැකියි.

“රටක් දියුණු වෙන්න නම් ඒ රටට ප්‍රතිපත්තියක් අවශ්‍යයයි. රටක් අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය,කෘෂිකර්ම ප්‍රතිපත්තිය ආණ්ඩු වෙනස් වෙන කොට වෙනස් වෙනවා නම් ඒ රටට ආනාගතයක් නැහැ. අපේ මේ ප්‍රතිපත්ති ආණ්ඩු විතරක් නෙවෙයි ඇමැතිවරයා මාරු වෙන කොටත් වෙනස් වෙනවා. ගෙවී ගිය 76 වසරට ශාප කරමින් ඉදලා වැඩක් නැහැ. අපි සැලසුමක් අනුව ආනගත අභියෝගවලට මුහුණ දිය යුතුයි. මේ මොහොතේ අප හමුවේ තිබෙන ප්‍රධානතම අභියෝගය විදේශ ණය ගෙවා දැමීමයි. මේ මොහොතේ අපට යම් සහනයක් ලැබී තිබෙනවා. ඉදිරියේදී ණය ගෙවීම ආරම්භ කළ යුතුයි. මීළඟ ජනපතිවරයා මුහුණ දෙන ප්‍රධාන අභියෝගය ණය ගෙවන අතරතුර රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑමයි. අපි නිධානයක් උඩ වාඩිවෙලා හූල්ලමින් ඉන්න මිනිස්සු ජාතියක්. අපි මේ වටිනා සම්පතින් ප්‍රයෝජන ගත යුතුයි. මහා පරිමාණයෙන් රටට මුදල් ගලා එන දේවල් අපනයනය කරන්න ඕනෑ. ඒ සඳහා පවතින හොඳම දේ තමයි අපේ ඛනිජ සම්පත.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT