Saturday, May 10, 2025
Home » ජගත් ක්‍රිකට් දූෂණ මර්දන ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ජගත් ක්‍රිකට් දූෂණ මර්දන ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

by sachintha
September 17, 2024 1:48 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා සිය තනතුරෙන් ඉවත්ව යයි. එක්සත් රාජධානියේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මාෂල් මහතා අයිසීසීය වෙත සිය තීරණය දැනුම් දෙමින් පවසා ඇත්තේ එංගලන්තයේ සිටින මව්පියන් සහ මුණුබුරන් ඇතුළු තම පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය බැවින් ඉල්ලා අස්වන බවය. “ඔබ නරඹන ක්‍රිකට් ආරක්ෂිත සහ පිරිසිදු බව මට විශ්වාසයි. නමුත් දූෂිතයින් නිරන්තරයෙන් ක්‍රීඩාවට පිවිසෙන මාර්ග සොයමින් සිටිනවා. විශේෂයෙන් නරක ලෙස ක්‍රියාත්මක වන පහළ මට්ටමේ ෆ්‍රැන්චයිස් ලීගවලින් ක්‍රීඩාවට තර්ජන සිදුවෙනවා. දූෂිතයින් පිරිසිදු ක්‍රිකට් ක්‍රීඩාව කඩාකප්පල් කිරීමට අඛණ්ඩව බලා සිටිනවා“ ඇලෙක්ස් මාෂල් මහතා විදෙස් මාධ්‍යයට පැවැසීය. වසර ගණනාවක් පුරා, විවිධ රටවල ක්‍රිකට් මණ්ඩල ඔවුන්ගේ බලයලත් ක්‍රිකට් ලීග ආරම්භ කිරීමට උත්සාහ කරන අතර, එයින් බොහෝ විට සැලකිය යුතු ආදායමකට මග පාදන බව ඇලෙක්ස් මාෂල් මහතා පෙන්වා දුන්නේය.

ඉන්දීය ප්‍රිමියර් ලීගය (IPL) ක්‍රීඩාව වාණිජ බලාගාරයක් බවට පරිවර්තනය කළ විශාලතම උදාහරණය වේ. එම ක්‍රිකට් තරගාවලියේ වර්ධනය සාර්ථක ෆ්‍රැන්චයිස් ලීගයකට කළ හැකි දේ පිළිබඳ විශිෂ්ට උදාහරණයකි. ඇලෙක්ස් මාර්ෂල් මහතා වසර හතකට පසු විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළ අතර, ඔහුගේ සේවා කාලය තුළ තරග පාවාදීම් සම්බන්ධයෙන් බොහෝ විමර්ශන සිදු කළේය. ක්‍රිකට් ක්‍රීඩකයින් දූෂණ මර්දන ඒකකයට වඩා විවෘත වන අතර, එයින් ඇතිවන ක්‍රීඩාවේ සැලකිය යුතු දියුණුව ද මාෂල් මහතා අගය කළේය. දූෂිතයින් ඔවුන් වෙත ළඟා වන ක්‍රමවේදයන් පිළිබඳ ක්‍රීඩකයින් දූෂණ මර්දන ඒකකය දැනුවත් කිරීම පිළිබඳව ඔහු අදහස් දැක්විය.

“දැන් අප වෙත සිද්ධීන් නිතර වාර්තා කරන ක්‍රීඩකයින්ගේ විශ්වාසය සැලකිය යුතු ලෙස වැඩි වීම ගැන මම ආඩම්බර වෙනවා, නමුත් ඔවුන්ට රහස්‍යභාවය සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විශ්වාසයක් නොතිබූ කාලයක් තිබුණා. අපි දැන් ක්‍රීඩකයන් සමඟ කරන අවබො­්ධයෙන් දූෂිතයින් කවුද? ඔවුන්ගේ ක්‍රම මොනවාද යන්න හඳුනාගෙන තිබෙනවා. එබැවින් දූෂණය ක්‍රීඩාවෙන් ඈත් කිරීමට සෑම කෙනෙකුම වඩා හොඳින් සන්නද්ධවීම සතුටට කරුණක්“ ඇලෙක්ස් මාෂල් මහතා පැවැසීය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT