Sunday, May 11, 2025
Home » ජනාධිපතිවරණයේ දී ශෝභනය සහ වෛරය වෙනුවෙන් ඔබ සියල්ල කැප කළ යුතු ද?

ජනාධිපතිවරණයේ දී ශෝභනය සහ වෛරය වෙනුවෙන් ඔබ සියල්ල කැප කළ යුතු ද?

by sachintha
September 18, 2024 3:55 am 0 comment

රට තුළ ආර්ථික අර්බුදයක්, ආර්ථික වර්ධනයේ පහළ වැටීමක් හෝ ආදායම් පහළ වැටීමක් සිදු වූ විට ජන ජීවිතය කෙරෙහි විශාල බලපෑමක් ඇතිවන ආකාරය අප විසින් වටහාගත යුතුය. එවැනි තත්ත්වයක් තුළ මුලින්ම කප්පාදුවට ලක්වන්නේ මහජනතාවට ලබාදෙන සහනාධාර වේ. අස්වැසුම යටතේ රුපියල් පහළොස් දහස දක්වා වූ මූල්‍යාධාර එම පවුල්වලට ලබා දේ. ඊට අමතරව ආබාධිත, පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් ආදී පිරිසට ලබාදෙන ආධාර මෙන්ම වැඩිහිටි දීමනා ද පවතී. මේ සියල්ල ආර්ථික අර්බුදයක් ඇති වුවහොත් නවතා දැමීමට සිදුවනු ඇත.

ජනාධිපතිවරණයට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී එක් එක් පක්ෂවල ඡන්ද ව්‍යාපාරය කවර ස්වරූපයක් ගනී ද යන්න පිළිබඳව මහජනතාව විමසිලිමත් වන බව පෙනේ. අද (2024.09.18) රාත්‍රී දොළහෙන් පසුව සියලුම ප්‍රචාරක කටයුතු නැවැත්විය යුතුව ඇත. හෙට දිනයේ මාධ්‍යවලට අවසර ලැබී ඇතතේ ඒ ඒ දේශපාලන පක්ෂවල අද පැවැත්වෙන අවසන් රැලිවල විස්තර පමණක් වාර්තා කිරීමටය. එවැනි තත්ත්වයක් තුළ මහජනතාව අදින් අවසන් වීමට නියමිත ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳව සහ එහි විවිධ ස්වරූපයන් පිළිබඳව උනන්දුවක් දැක්වීම ස්වාභාවිකය.

එක් එක් පක්ෂයේ අපේක්ෂකයන් ලබන ඡන්ද ප්‍රමාණය පිළිබඳව විවිධ මාධ්‍යවල, විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල විවිධ තොරතුරු ඉදිරිපත් වී ඇත. එහෙත් එම වාර්තා අපේක්ෂකයාට පක්ෂපාත කණ්ඩායම් හෝ පුද්ගලයන් විසින් තම අභිමතය පරිදි සකස් කර ඉදිරිපත් කරන ඒවා බව දැන් බොහෝ දෙනෙකුට වැටහී තිබේ. එබැවින් ඡන්දය පිළිබඳ සමීක්ෂණ වාර්තාවලින්, ඒවායෙහි තිබෙන වාර්තා පිළිබඳව මහජනතාව දැන් අවධානය යොමු කරන්නේ ඒවා තුළ ගැබ්ව ඇති හාස්‍ය විඳගැනීමට මිස එම තොරතුරුවලින් ඡන්දය පිළිබඳ අදහසක් ඇති කර ගැනීමට නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජුලි කොසැක් (Julie kozack) මහත්මිය ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවක දී අදහස් දක්වා තිබුණි. රටේ ආර්ථික වර්ධනය, උද්ධමනය පාලනය කිරීම, ජාත්‍යන්තර නිල සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීම, රජයේ ආදායම් වැඩි කර ගැනීම ආදිය සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඇය ප්‍රකාශ කළාය. එසේ වුවද තත්ත්වය සම්පූර්ණයෙන්ම හොඳ අතට පත්වීම සඳහා තවත් කටයුතු සම්පූර්ණ විය යුතුය. තාමත් ණය පාර්ශ්වකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර නැත. ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය සහ එම පාර්ශ්වකරුවන් අතර සිදුවිය යුත්තක් බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒවාට මැදිහත් නොවේ. එවැනි කටයුතු මෙන්ම ඇති කරගත් එකඟතාවන් අනුව සම්පූර්ණ කළ යුතු තවත් කරුණු තිබේ. ඇය හැඟවූයේ ශ්‍රී ලංකාවේ අවදානම තාමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බවයි.

මේ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත්තේ තමාගේ ජයග්‍රහණයෙන් පසුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා මාස කිහිපයක් තුළ මහමැතිවරණයක් පවත්වන බවය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මෙන්ම ජන ජීවිතය සම්බන්ධයෙන් ද එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඇතිවන බලපෑම නොසලකා හැරිය නොහැකිය. එවැනි පක්ෂයක් ජයග්‍රහණය කළහොත් රට අවුල් වන ආකාරය එම ප්‍රකාශ තුළ ගැබ්ව තිබේ. මුලින්ම ගැටලුවක් වන්නේ කැබිනට් මණ්ඩලයක් තෝරාගැනීමයි. අනුර කුමාර දිසානායක මහතාගෙන් ඒ පිළිබඳ විමසූ විට ඔහු දැනට සිටින ඇමැතිවරයකුගේ නම සඳහන් කරමින් ප්‍රකාශ කළේ එවැනි අය වුව ද කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ගත හැකිය යන්න විය යුතුය. කෙසේ වුවද මෙය විහිළුවක් ලෙස සැලකීමට අවස්ථාවක් නොවේ.

අවුල් වියවුල් රාශියකට රට යොමු වීමට ඉඩ ඇති බව එම තත්ත්වය විමර්ශනය කරන විට පැහැදිලි වේ. පාර්ලිමේන්තුව විසුරුවා හරින විට පත්කර සිටින ඇමැති මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාරකාර ඇමැති මණ්ඩලය වේ. එය ද කැබිනට් මණ්ඩලයට පමණක් සීමා වේ. අනෙක් තනතුරු අහෝසි වේ. තමන්ගේ පක්ෂයේ නොවන මන්ත්‍රීවරු ඇමැති තනතුරුවලට පත්කර කෙටිකාලීනව වුව ද අවුල් තත්ත්වයකින් තොරව රට පවත්වාගත හැකි ද? මහමැතිවරණයකට මුදල් සොයන්නේ කෙසේ ද? අයවැය ලේඛනය සම්මත කර ගැනීමකින් තොරව අලුතින් මුදල් වියදම් කළ හැක්කේ කෙසේද?

ජනාධිපතිවරණය නිසා වුව ද රටේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් විශාල බලපෑමක් ඇති වන බව පෙන්වා දිය යුතුව ඇත. රජය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවී වැඩි බරක් ජනාධිපතිවරණයට යොදා ඇත. තව මහමැතිවරණයකට යන විට රට ආර්ථික ගැටලු, දේශපාලන අවිනිශ්චිතතාව ආදිය රටේ ආර්ථිකය බිඳවැටීම සඳහා හේතු වනු ඇත. ජුලි කොසැක් සඳහන් කළ ආකාරයේ අවදානමක් විඳගැනීමට රටේ ආර්ථිකයට හැකියාවක් තිබේ ද යන්න මහජනතාව විසින් තීන්දු කළ යුතුව ඇත.

රට තුළ ආර්ථික අර්බුදයක්, ආර්ථික වර්ධනයේ පහළ වැටීමක් හෝ ආදායම් පහළ වැටීමක් සිදු වූ විට ජන ජීවිතය කෙරෙහි විශාල බලපෑමක් ඇතිවන ආකාරය අප විසින් වටහාගත යුතුය. එවැනි තත්ත්වයක් තුළ මුලින්ම කප්පාදුවට ලක්වන්නේ මහජනතාවට ලබාදෙන සහනාධාර වේ. අස්වැසුම යටතේ රුපියල් පහළොස් දහස දක්වා වූ මූල්‍යාධාර එම පවුල්වලට ලබා දේ. ඊට අමතරව ආබාධිත, පිළිකා රෝගීන්, වකුගඩු රෝගී ආදී පිරිසට ලබාදෙන ආධාර මෙන්ම වැඩිහිටි දීමනා ද පවතී. මේ සියල්ල ආර්ථික අර්බුදයක් ඇති වුවහොත් නවතා දැමීමට සිදුවනු ඇත.

රජය විසින් උදය සෙනවිරත්න වැටුප් නිර්දේශ කමිටුවේ යෝජනා අනුව රජයේ සියලුම සේවකයන්ට වැටුප් වැඩි වීමක් ජනවාරි මස පළමු වන දින සිට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අතරම පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ දැමීමට ද කටයුතු කර ඇත. එහෙත් මේ සියල්ල ළඟා කර ගත හැකි වනුයේ අර්බුදයකින් තොරව අඛණ්ඩව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යා හැකි නම් පමණි. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අද වන විට කේන්ද්‍රගත වී ඇත්තේ ආර්ථිකයේ සිදුවිය හැකි බරපතළ අර්බුදයක් පිළිබඳව නොව ඡන්ද වැඩි කර ගැනීම අරමුණු කරගෙන ගොඩනඟාගෙන ඇති බොළඳ මවාපෑම් අනුව බව පෙනී යයි.

අනුර කුමාර දිසානායක මහතා පසුගියදා රූපවාහිනී වැඩසටහනක දී ප්‍රකාශ කළේ ආර්ථික කටයුතු කළමනාකරණය කර ගත නොහැකි නම් හෝ ඒවා බරපතළ තත්ත්වයකට පත්වන්නේ නම් පිළිතුර විය යුත්තේ අත්හැර දැමීම බවයි. එයින් අඟවා සිටියේ විසඳා ගැනීමට බැරි තත්ත්වයකට ආර්ථික ගැටලුව පත් වුවහොත් විසඳුම් සෙවීම අත්හැර දැමිය යුතු බවයි. එහි අදහස තනතුරෙන් ඉවත් වනවා නොවේද? මහජනතාවගේ වැඩි අවධානයක් යොමුවිය යුතුව ඇත්තේ ඡන්දයෙන් පසු ඇතිවිය හැකි මෙවැනි තත්ත්වයන් පිළිබඳවය.

එවැනි බිඳවැටීමක ඊළඟ ප්‍රතිඵලය වන්නේ මීට පෙර රට බංකොළොත් බව ප්‍රකාශ කළ විට මුහුණ දුන් ගෑස් හිඟය, ඉන්ධන හිඟය, ඖෂධ හිඟය වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වියි. ජන ජීවිතය යළිත් මහා ව්‍යසනයකට ගොදුරු වනු ඇත. “අත්හැර දැමීම” තුළ කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැත. කෙසේ වුව ද මහජනතාවට යම් සහනයක් දැනෙනු ඇත්තේ ජනාධිපතිවරණය තුළින් එවැනි බලපෙරළියක් ඇතිවන ලකුණු පෙනෙන්නට නොතිබීම නිසා යැයි සිතමි. ජාතික ජන බලවේගය මැතිවරණය දිනා කැබිනට් මණ්ඩලය පත්කරන ආකාරය, පාර්ලිමේන්තුව විසුරුවන ආකාරය, ආර්ථිකය ආදිය පිළිබඳව ප්‍රකාශ කරන නමුදු එහි ප්‍රචාරක ව්‍යාපාරය වැඩියෙන්ම යොමු වී ඇත්තේ එම පක්ෂයට ඡන්දය දීමට විදේශවලින් පැමිණෙනවා යැයි කියූ පහළොස් ලක්ෂයක පිරිස දෙස බව පෙනේ.

ගුවන් තොටුපළින් රටට එන එක පුද්ගලයකුට පවා ජාතික ජන බලවේගයේ ටීෂර්ට් අන්දවා ඡායාරූප හෝ වීඩියෝ කර සමාජ මාධ්‍යවල පළ කරනු ලබයි. සමහරු එක් එක් රටවලින් පැමිණෙන පිරිස් ලෙස හඳුන්වා එවැනි දර්ශන සමාජ මාධ්‍යවල පළ කර තිබුණ ද එම අය කටුනායක ගුවන් තොටුපළට පැමිණි බවක් වාර්තා වී නැත. ඒවාට ප්‍රතිචාර දක්වන්නන්ගේ කොමෙන්ට්ස්වල සඳහන් කර ඇත්තේ තවමත් පන්සියයක්වත් පැමිණ නැති බැවින් පහළොස් ලක්ෂය ඉදිරි දින කිහිපය තුළ පැමිණෙන විට ගුවන් යානා නවතා තැබීමට ඉඩ නැති බැවින් අවට ඇති ප්‍රදේශවල විවිධ ස්ථාන ඒ සඳහා භාවිත කිරීමට සිදු විය හැකි බවයි.

ජාතික ජන බලවේගයේ එක් ප්‍රධාන ප්‍රචාරක පාඨයක් වූයේ එයට කෝටියක සහයෝගය ලැබෙන බවයි. එවැනි තත්ත්වයක් තුළ රටට පැමිණෙන එක පුද්ගලයකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු පෙන්වා මහා ප්‍රචාරයක යෙදීමත් එම පක්ෂයේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් එවැනි පෝස්ටුවලට දිගින් දිගටම ප්‍රතිචාර දක්වන ආකාරයත් දෙස බැලූ විට පැහැදිලි වන්නේ කියන තරම් මහජන සහයෝගයක් එයට ලැබී නැති බවයි. එම පක්ෂයේ රැස්වීම්වලට සහභාගි වන්නන්ගේ ස්ථිර බළකාය ආදිය පිළිබඳව හොඳින් තේරුම්ගෙන ඇත්තේ එම කැම්පේන්කරුවන් විසින්ම වීම එයට හේතුව විය හැකිය. ශෝභනය ආකර්ෂණයක් ලබා දුන්නද ඡන්දය ලබාදෙන්නේ නැත.

මෑතක දී ප්‍රවීණ කලාකරු අශෝක හඳගම මෙම මැතිවරණය පිළිබඳව මුහුණු පොතේ සටහනක් තබා ඇත. ඔහු බොහෝ කලක් ජනතා විමුක්ති පෙරමුණට හිතවත්ව සිටි අයෙකි. ඉදිරිපත් කර ඇති විවිධ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන ඔහු සඳහන් කරන්නේ “මැතිවරණ ප්‍රකාශනයක මට වැදගත් වන්නේ මේ මොහොතේ රටේ තියෙන ආර්ථික අර්බුදය විසඳා ගන්නේ කොහොමද කියන එක. අනිත් හැම (සුරංගනා) කතාවක්ම රැඳී තියෙන්නේ මේක මත” යනුවෙනි. ඔහු තම සටහනේ මෙසේ ද ප්‍රකාශ කර තිබේ. “රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම වඩාත් දූෂිතම කණ්ඩායමයි. එහෙත් ඔහු, අර්බුද අවස්ථාවේ දී “රාජ්‍යය” ආරාජික වන්නට නොදී IMF සමඟ සාකච්ඡාකොට වැඩපිළිවෙළක් සාදා රට අද තියන තත්ත්වයට ගෙන එන්නට සමත් වුණා. ඔහුම මැතිවරණය ඉලක්කකොට ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ගොස් මේ තාක් අත්පත් කරගෙන ඇති මූල්‍ය සමබරතාව (Monetary Balance) කඩාකප්පල් කර නොගත හොත් රට මේ විදියටම ඉදිරියට යනු ඇතැයි විශ්වාසය තැබිය හැකියි” මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස ද ක්‍රියා කළ ඔහුගේ සම්පූර්ණ සටහන කියවන ලෙස ඉල්ලා සිටිමි.

මෙම ජනාධිපතිවරණය කථික තරගයක් නොවේ. සමහර නායකයන් විසින් මහජනතාව තුළ විශේෂයෙන්ම, තරුණ පරම්පරාව තුළ වැපිරූ වෛරය පදනම් කරගෙන තීරණ ගත යුත්තක් ද නොවේ. ඡන්දය දෙන ඔබට සහ ඔබේ දරුවන්ට මවුපියන්ට සාමකාමී ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය සහ අර්බුදවලින් තොර පැවැත්මක් සඳහා වූ තීරණයක් ගත යුතු අවස්ථාවකි. වැටුප් වැඩි වීම, අස්වැසුම් දීනා, විශ්‍රාම වැටුප් වැඩි වීම, පුද්ගලික අංශයේ වැටුප් වැඩි වීම, උරුමය ඔප්පු, ආදිය නැති කර ගැනීම තුළ ඔබට ලැබෙන දෙයක් නැත. අරගලය ඇතිවන විට ඔබ අත්විඳිමින් සිටි කටුකත්වය යළි වැලඳ ගැනීම සඳහා ඔබ අද අත්විඳිමින් සිටින සහනය, සාමකාමී බව සහ පෙනෙන්නට තිබෙන ආර්ථික දියුණුව අත්හල යුතුද යන ඔබේ නිගමනය මත සියල්ල තීරණය වනු ඇත.

ජනමිත්‍ර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT