Thursday, May 8, 2025
Home » දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කම්හල විවෘත වෙයි

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කම්හල විවෘත වෙයි

by sachintha
September 18, 2024 1:41 am 0 comment

කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ්හි අධ්‍යක්ෂවරුන් වන ජෙරාඩ් ප්‍රනාන්දු, මිකායිල් සෙල්වනායගම් යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපයේ දැක්වෙන්නේ ජනපතිවරයා ආරාධිතයන් සමඟ එක්ව සිටි ආකාරයයි. මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි. මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

ගෝලීය මෝටර් රථ විශේෂඥයන් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණවලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරේ. එසේම ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක් ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මඟින් විදේශ රැකියාවන් සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.

ඊයේ පස්වරුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්තශාලාව විවෘත කළේය.

අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතාබහක නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවකුට ඉඩ නොදෙන බවයි.

වෙස්ටර්න් ඔටෝමොබයිල් කර්මාන්තශාලාවේ කටයුතු 2015 වසරේදී ආරම්භ වුවද එම කටයුතු ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් කිසිවකු සහාය ලබා නොදුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

තමා රට භාර ගත්තේ රට දියුණු කෙරෙන සංවර්ධනය ව්‍යාපෘති ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට බව අවධාරණය කළ ජනාධිපතිවරයා වසර දෙකකින් නිම කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා වසර 10ක් ගත කිරීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබූ රැකියා අවස්ථා රැසක් අහිමි වූ බව ද සඳහන් කළේය.

එසේම මෙම නව කර්මාන්තශාලාව මඟින් කුලියාපිටිය ඇතුළු මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කෙරෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT