මන්නාරමේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලියට ඊයේ (17) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්නාරම් දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාගේ මන්නාරම තල්වුපාඩු පිහිටි නිවෙසට ගොස් ඒ මහතා හමුවිය.
චාල්ස් නිර්මලනාදන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර වත්මන් දේශපාලන කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුහු කෙටි කතාබහක නිරත වූහ.
ඉලංගෙයි තමිල් අරසුකච්චි සමස්ත ලංකා තරුණ සංවිධානයේ උප සභාපති නීතිඥ දිනේෂ් මහතා ප්‍රමුඛ, ප්‍රාදේශීය සභා, නගර සභා හිටපු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ඔවුහු ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ.
මේ අතර උතුරු පළාතේ පුළුල් සංවර්ධන සහ ආයෝජන වැඩසටහන් ඉදිරියට ගෙනයෑම අරමුණු කර ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායකයන් වන සසිකලා රවිරාජ් මහත්මිය සහ කලෛඅමුදන් මාවෙයි සේනාධිරාජා මහතා, ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර යාපනයේ ජෙට් වින්ග් හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉහළ පෙළේ සාකච්ඡාවක නිරත විය.
උතුරු පළාතේ ජනතාව මුහුණදෙන දීර්ඝකාලීන ආර්ථික සහ යටිතල පහසුකම් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ කලෛඅමුදන් සේනාධිරාජා මහතා විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ පුත්‍රයා වන කලෛඅමුදන් සේනාධිරාජා මහතා උතුරේ ප්‍රාදේශීය දේශපාලනයේ ප්‍රධාන පෙළේ චරිතයක් වන අතර, උතුරු පළාතේ දිගුකාලීන සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ හැකි ආයෝජන අවස්ථා සහ වැඩසටහන් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටියි.
උතුරු පළාතේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, උතුරු පළාතේ තරුණ ප්‍රජාව වෙත නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ උතුරේ දෙමළ ප්‍රජාව මුහුණදෙන දිගුකාලීන පුළුල් සමාජ හා ආර්ථික ගැටලු කෙරෙහි කඩිනමින් සාධනීය විසඳුම් ලබාගැනීම සඳහා එම ගැටලු සසිකලා රවිරාජ් මහත්මිය සහ කලෛඅමුදන් සේනාධිරාජා මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළහ.
දශක ගණනාවක් පුරා පැවති ගැටුම්වලින් පීඩාවට පත් වීමෙන් පසුව, අඛණ්ඩව යථා තත්ත්වයට පත්වෙමින් සිටින උතුරු පළාතට සමෘද්ධිමත් අනාගතයක් උදා කරලීම සඳහා මෙම වැඩසටහන්වල තිබෙන වැදගත්කම අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන සසිකලා රවිරාජ් මහත්මිය අවධාරණය කළාය.
උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳ වැඩි වශයෙන් දේශපාලන අවධානය යොමුව තිබෙන අවස්ථාවක මෙම සාකච්ඡාව සිදුව තිබීමද විශේෂත්වයකි.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් පසුගියදා ඒ මහතාගේ නිවෙසේදී සිදු විය. එහිදී එළැඹෙන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇති බවට මාවෙයි සේනාධිරාජා මහතා විශ්වාසය පළ කළේය.