Friday, May 16, 2025
Home » ස්පා ගිහින් නොමිලේ සේවය ඉල්ලා ජෝගි නැටූ PCගේ වැඩ තහනම්

ස්පා ගිහින් නොමිලේ සේවය ඉල්ලා ජෝගි නැටූ PCගේ වැඩ තහනම්

by sachintha
September 18, 2024 12:01 am 0 comment

අනුරාධපුරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කාන්තාවක් සමඟ ගොස් එම සම්බාහන ආයතනය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් රුපියල් 2,000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඊට පසු දින තවත් පුද්ගලයකු සමඟ එම සම්බාහන ආයතනයට ගොස් නොමිලේ සේවය ඉල්ලා එහි යකා නැටූ ඇලයාපත්තුව පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් අයකු අනුරාධපුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය 14 වැනිදා කාන්තාවක සමඟ අනුරාධපුර මාකට් පෙදෙසේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් නිල හැඳුනුම්පත පෙන්වමින් එය සෝදිසි කිරීමට අවශ්‍ය බව පවසා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අනතුරුව මෙම නිලධාරියා එම සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිනියට පවසා ඇත්තේ සෝදිසි නොකර සිටීමට නම් රුපියල් 3,000ක මුදලක් ලබාදෙන ලෙසය. ඇය එහිදී මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළ විට බලහත්කාරයෙන් රුපියල් 2,000ක මුදලක් ලබාගෙන පිටව ගොස් ඇත.

නැවතත් මෙම නිලධාරියා ඊට පසුදින තවත් පුද්ගලයකු සමඟ සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ නොමිලේ සේවය ඉල්ලමින් කලහකාරී ලෙස හැසිරී තිබේ. එහිදී පොලිස් නිලධාරියා හා එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයකු අතර ද බහින්බස් වීමක් සිදුව ඇත.

මේ ගැන සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිනිය විසින් අනුරාධපුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා පොලිස් කොස්තාපල්වරයාත් ඔහු සමඟ පැමිණි පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද පොලිස් බලධාරීන් ඊයේ පියවර ගෙන තිබිණි.

 

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT