මෙවර ජනාධිපතිවරණයේදී අන් කවරදාටත් වඩා දෙවෙනි මනාපය පිළිබඳ සාකච්ඡාව පෙරට පැමිණ තිබේ. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළව ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වී ඇති අවස්ථාවක ඡන්ද දායකයෙකුට තමන්ගේ දෙවන මනාපය ප්‍රකාශ කළ හැකි අතර අපේක්ෂකයන් තිදෙනෙකුට වඩා ඉදිරිපත්ව ඇති අවස්ථාවක දෙවන හා තෙවන මනාපය ප්‍රකාශ කළ හැකිය. 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
ජයග්‍රාහකයා තෝරා ගැනීම
ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් සහ තව එක් ඡන්දයකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබූ අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත යුත්තේය. අපේක්ෂකයන් දෙදෙනෙකු පමණක් ඉදිරිපත් වූ අවස්ථාවක ඔවුන් එකිනෙකා සමාන ඡන්ද ප්‍රමාණයක් ලබාගතහොත්, ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා කුසපත් අදිනු ලැබේ. යම්කිසි ලෙසකින් කිසිදු අපේක්ෂකයකු ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක ප්‍රමාණයක් හිමි කරගෙන නොමැතිනම් එවිට වැඩිම ඡන්ද සංඛ්‍යාව හා දෙවන වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් හැර සෙසු අපේක්ෂකයන් තරගයෙන් ඉවත් කොට එක් එක් ඡන්ද දායකයාගේ දෙවන මනාපය ඉතිරි අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට දී ඇත්නම් එය ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාවට එකතු කරනු ලැබේ. මේ අනුව ද යම් අපේක්ෂකයකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% සම්පූර්ණ නොකරයි නම් ඉහත අයුරින් එක් එක් ඡන්ද 03 දායකයාගේ තුන්වන මනාපය ද ගණන් කොට බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබූ අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත යුතුය. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ කාර්යපටිපාටිය 1981 අංක 15 දරන පනත මගින් ස්ථාපිත කර ඇත.
2019 නොවැම්බර් මාසයේ පැවති පූර්ව ජනාධිපතිවරණ සමයේදී ද, මේ අයුරින්ම කිසිවෙකුටත් 50%ක් ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බවට මතයක් පළවිය. ඒ නිසාම දෙවැනි මනාපය ලකුණු කිරීමේ වැදගත්කම හා දෙවැනි මනාපය ගණන් කිරීම පිළිබඳ උපකල්පනය ප්‍රබල විය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා 52.25%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදි. එකී ප්‍රතිශතය ලබා ගැනීමට ඔහු ඡන්ද 69,24,255ක් ලබාගෙන තිබිණි. එහෙත් 2019 හා 2024 සංසන්දනාත්මකව සලකා බලන විට 2019 දී තරගය පැවතියේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර පමණක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. විශේෂයෙන්ම උතුරේ ඡන්ද මෙන්ම දකුණේ සුළුතර වාර්ගික කණ්ඩායම්වල ඡන්දය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නොලැබෙන බව ද, ඒ නිසාම දකුණේ සිංහල-බෞද්ධ ඡන්ද පදනම සැලකිය යුතු ප්‍රතිශතයකින් පරතරයක් සහිතව තබා ගැනීම ගැන ද, ඔවුන් නිසි ලෙස තක්සේරු කර තිබිණි.
කලාපීය සිතියම්ගත තත්ත්වය
එහෙත් 2024 වන විට තත්ත්වය වෙනස්ය. උතුරේ කැමැත්ත කාටදැයි වරෙක ප්‍රසිද්ධියට පත් කළ ද, එය යළි වරක් සලකා බලන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. එය අප කැමැති වුවද, අකැමැති වුවද අසල්වැසි රටක දේශපාලනික වශයෙන් කලාපීය සිතියම්ගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන අවසාන මොහොතේ වුවද, වෙනස්වීම්වලට ලක්විය හැකි මතයක් බැව් පැහැදිලිය. ඒ නිසාම එකී සාධකය පසෙකින් තැබුව ද, ප්‍රධාන අපේක්ෂකයන් සිව් දෙනෙකු අතර දකුණේ ඡන්ද පදනම බෙදී යන බව ස්ථීරය. මේ මොහොත වන විටත් තීරණාත්මක තරගය ඇත්තේ දෙදෙනකු අතර පමණක් බව ඉඳුරා පැවසිය හැකි වුවද, සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් තිදෙනකු අතරවත් බෙදීයාම කිසිවෙකුටත් නොවැළැක්විය හැකිය. ඒ නිසාම අන් කවරදාටත් වඩා දෙවෙනි මනාපයක් ගැන සාකච්ඡාව තීරණාත්මක වී තිබේ.එහෙත් මෙතෙක් පැවති කිසිදු ජනාධිපතිවරණයකදී දෙවෙනි මනාපයක් ගණන් ගතයුතු තැනට ප්‍රතිඵලය තල්ලුවී නැති බව ද, මෙහිලා අප විසින් අමතක නොකළ යුතුය.
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් කිසිවෙකුටත් සියයට පනහට වඩා ඡන්දය ලබාගත නොහැකිවූයේ නම්, දෙවෙනි මනාපය ගණනය කරන අවස්ථාවකට යා යුතුවීනම් මතුවිය හැකි තවත් ගැටලු කිහිපයක් තිබේ. පළමු හා දෙවෙනි ලෙස ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා වෙන් කොට, තෙවෙනියට ඡන්ද ලබාගත් අපේක්ෂකයාගේ දෙවෙනි මනාපය, පළමුව පසෙකින් තැබූ පළමු හා දෙවෙනි අපේක්ෂකයන් දෙදෙනාගෙන් කිසිවෙකුට ලැබී ඇත්දැයි ගණනය කරන්නට සිදුවූවා යයි සිතමු. එවිට ප්‍රායෝගික වශයෙන් මුහුණදීමට සිදුවන එක් ගැටලුවක් වන්නේ පළමුවැන්නා, දෙවැන්නා හැර තෙවැන්නෙකුට ඡන්දය දුන් කෙනෙකුට පළමුවැන්නා හෝ දෙවැන්නාට තම දෙවැනි මනාපය දීමට තරම් කැමැත්තක් ඇතිවිය හැකි ද යන්නයි.
මනාප ලබාදීම
මහමැතිවරණයකදී හෝ වෙනත් මැතිවරණයකදී නම් එකම පක්ෂයක ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් අතරින් මනාප ලබාදීමට පක්ෂයට ඡන්දය ලකුණු කොට ඉතිරි අයට කැමැති පරිදි මනාපය සලකුණු කළ හැකිය. එය ප්‍රතිපත්තිමය වශයෙන් ගැටලුසහගත තත්ත්වයක් නොවේ. මන්ද යත්, එකම පක්ෂයකට මූලධාර්මික වශයෙන් කැමැත්ත පළ කොට එහිම කැමැති පුද්ගලයින් තෝරා ගැනීමක් පමණක් නිසාය. එහෙත් ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ විවිධ පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම්වලිනි. එවිට ප්‍රතිපත්ති එකිනෙකට වෙනස්ය. පුද්ගලයන් වෙනස්ය. ඒ නිසාම එක් පක්ෂයක එක් ප්රතිපත්තියකට, පුද්ගලයකුට කැමැති ඡන්ද දායකයෙකුට ඊළඟට කැමැති ඊට වෙනස් ප්‍රතිපත්ති සහිත පක්ෂයක් හා පුද්ගලයකු තෝරා ගැනීමට සිදුවේ. අනෙක් අතට මූලධාර්මික වශයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ලබන්නේ යැයි සිතන අපේක්ෂකයා ලබාගන්නා ඡන්ද ප්‍රතිශතයට වඩා ඔහුට කැමැත්තක් නොදක්වන අයගේ ප්‍රතිශතය ඉතා වැඩිවිය හැකිය. මන්ද යත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයාට හැර සෙසු කිසිවකුට ඡන්දය ප්‍රකාශ කරනවා යනුම පළමු වැන්නට ඇති නොකැමැත්තේ ප්රකාශනයක් ද වන බැවිනි. ඒ අර්ථයෙන් ප්රජාතන්ත්රවාදය වඩාත් තහවුරු කරනු පිණිස භාවිත ක්රමවේදයම එහි ප්රජාතන්ත්රභාවය හීන කරන මානයකට අපව තල්ලු කරන බව පෙනෙයි.
සුපුරුදු කතිරය
අනෙක් අතට දෙවෙනි හෝ තෙවෙනි මනාපයකින් තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ප්‍රධාන පෙළ අපේක්ෂකයන් කිසිවෙකුත් කිසිදු ඇගෑලුම්කමක් නොදක්වති. ඒ නිසාම සුපුරුදු කතිරයම මිස 1 සලකුණු කොට ඡන්දය හා 2 ලකුණු කොට මනාපය දීමක් ගැන ඔවුන් කිසිවෙකුත් තම ඡන්ද දායකයන්ට ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවල තබා පොකට් රැස්වීමකවත් කියන්නේ නැත. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා හා මැතිවරණ නිරීක්ෂකයන්, ඡන්ද සාක්ෂරතාව පිළිබඳ ක්‍රියාත්මක සිවිල් සංවිධාන හැරුණුවිට කිසිවෙකුත් ඒ ගැන එකදු ප්‍රකාශයක් හෝ කර නැත. කිසිදු ජනමාධ්‍යයක හෝ මේ පිළිබඳ ප්‍රමාණවත් කතිකාවක් ගොඩනඟා තම පාඨකයන්, ශ්‍රාවකයන් හෝ ප්‍රේක්ෂකයන් දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවක් ද, පෙනෙන්නට නැත. හැමෝම කියන්නේ තමන්ට කිසිවෙකුගේ දෙවෙනි හෝ තෙවෙනි මනාපවල අවශ්‍යතාවක් නොමැති බව හා තමන් සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් අනිවාර්යයෙන් ලබාගන්නා බව පමණි. එය තමන්ට තමන් පිළිබඳ පවත්නා අධිතක්සේරුව ද, නැතිනම් නොදැනුම ද, එසේත් නොමැතිනම් දේශපාලනික වශයෙන් උපක්‍රමයක් ලෙස ගන්නා ස්ථාවරයක් ද, යන්න නිශ්චිත නැත.
සමස්ත ඡන්ද දායකයන්
මිලියන 17ක් වන ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්ද දායකයන් අතරින් මිලියන 4ක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන නියෝජනය කරමිනි. එසේම සමස්ත ඡන්ද දායකයන් අතරින් වැඩි ම ඡන්ද දායකයන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර, කොළඹ සහ කුරුණෑගල දෙවන සහ තෙවන ස්ථානවල පසුවෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන දත්තවලට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,881,129 ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,765,351කි. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,417,226 කි. මේ අනුව ප්‍රධාන අපේක්ෂකයන් වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයන් සිටින දිස්ත්‍රික්කවලින් වැඩි ප්‍රතිශතයක් දිනා තමන්ට අවදානමක් ඇති දිස්ත්‍රික්කවල බෙදී යන ඡන්දයට සැලකිය යුතු පරතරයක් තබා ගැනීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට තිබේ.
ප්රජාතන්ත්රවාදය අමනාප කර ගැනීම
මොවුන් රට පුරා මහජන රැලි පවත්වා තමන්ගේ අවසන් දේශපාලන රැස්වීම් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබීම ද එය සංකේතවත් කරන්නකි. මෙහෙව් පසුබිමක අප මෙම කෙටි ලිපියේ මූලාරම්භයේ සටහන් කළ පරිද්දෙන් ලබාගන්නා ඡන්දයෙන් අපේක්ෂකයකුට සියයට පනහ අබිබවා යා හැකි ද? එසේත් නොමැතිනම් දෙවන මනාපයකට යා යුතුවෙයි ද, යන්න මේ මොහොතේ නිගමනය කළ නොහැකිය. දෙවන මනාපයක් කෙරෙහි අපේක්ෂකයන් ද, ඡන්ද දායකයන් ද කිසිදු උනන්දුවක් නොදක්වන තත්ත්වය තුළ මනාපය නොතකා හැර ප්රජාතන්ත්රවාදය අමනාප කර ගැනීම නොකළ යුතුමය. මන්ද යත් පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් රැකගැනීමේ වගකීම පාලකයන්ට පමණක් පවරා අතපිස දා ගැනීමට අප කිසිවෙකුටත් හැකියාවක් නොමැති බැවිනි. එබැවින් අවසාන අර්ථයෙන් එහි වගකීම පැවරෙන්නේ ඡන්ද දායකයන් වන අපටමය. එබැවින් අවසාන වශයනේ කිව හැක්කේ මනාපය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය අමනාප කර නොගැනීමට අප සියලුදෙනාම බැඳී සිටින බවය.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර