මැතිවරණයක ජයග්‍රහණය කෙරේ අපේක්ෂකයාගේ සංවිධානාත්මක බව, ආකර්ෂණීය මැතිවරණ ව්‍යාපාරය බලපාන බවට වර්තමානයේ මෙන්ම අතීතයේද අපට අවශ්‍ය තරම් උදාහරණ තිබේ. මේ අතරින් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය එකල ඉතා ආකර්ෂණීය වූ බව වාර්තා වේ. මේ ඒ සම්බන්ධ කතා කිහිපයකි.
1977 මහමැතිවරණයෙන් ජය ගත් ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැති ධුරයට පත් විය. පසුව 1978 වර්ෂයේ සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයකින් ඔහු මෙරට පළමු ජනාධිපතිවරයා බවට පත් විය. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා වීමත් සමඟම මෙරට සමාජ, දේශපාලන සුවිශාල බලපෑමක් සිදුවිය. විවෘත ආර්ථිකය මෙන්ම රූපවාහිනියද ජනතාවට හිමි වූයේ විධායක ජනාධිපති ධුරයට සමකාලීනවය. මේ හරහා සිදු වූ සමාජ, ආර්ථික වෙනස්වීම පරිහානියක් ලෙසද ජයග්‍රහණයක් ලෙසද අද දක්වාම විවිධ පාර්ශ්ව විසින් විග්‍රහ කරනු ලැබේ.
බාධක රැසක්
1943 වර්ෂයේ ආරම්භ වූ ජනාධිපති ජයවර්ධන මහතාගේ ක්‍රියාකාරී දේශපාලනය 1988 ජනාධිපති ධුරයෙන් සමුගන්නා තෙක් ගලා ගියේ වෙනස්ම ආකාරයකටය. ඉතා අපහසුවෙන් දේශපාලනයට පිවිසි ඔහු ඒ මාවතේ ගමන් කරනු ලැබූයේද විවිධ බාධක රැසකට මුහුණ දෙමිනි. ඒ අතර පක්ෂය අභ්‍යන්තර ගැටලු මෙන්ම බාහිර ගැටලු රැසකටද ඔහුට මුහුණ දීමට සිදුවිය. මේ සියල්ල ජයගෙන ඔහු මෙරට ජනාධිපති ධුරයට පත්වන්නේ ජීවන ගමනේ 72 වන කඩඉමේදීමය.
ඔහුගේ දේශපාලන ප්‍රචාරණ කටයුතුවල සුවිශේෂ කරුණු කිහිපයක් දැකගත හැකිය. එය ජයවර්ධන මහතා පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වූ 1943 වර්ෂයේ සිටම දැකගත හැකි විය. කැලණිය මැතිවරණ කොට්ඨාසය සඳහා මේ මැතිවරණයට ඔහු සමඟ තරග වැදී සිටියේ. ඊ.ඩබ්ලිව්. ද සිල්වා මහතාය. මෙම මැතිවරණය තමාට ජයගත හැකි වේ යැයි ජයවර්ධන මහතා තුළද විශ්වාසයක් නොතිබුණු බව වාර්තා වේ. කෙසේ වෙතත් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේදී ඔහු උපක්‍රමශීලි විය. මැතිවරණ ව්‍යාපාර සංවිධානයේදී සුවිශේෂ හැකියාවක් ජයවර්ධන මහතාට තිබූ බව “ජේ.ආර්. චරිතාපදානය” ලියූ කේ.ඇම්. සිල්වා සහ හවඩ් රිගින්ස් සඳහන් කරති.
“වහාම නිදහස දියව්!” ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨය විය. මේ සටන් පාඨයට සමාන සටන් පාඨයක් ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාද භාවිත කර තිබිණි. එමෙන්ම ඇතිව තිබූ පෞද්ගලික ගැටුමක ප්‍රතිඵලයක් නිසා ජේ.ආර්. ජයවර්ධන මහතාට ඩී.ආර්. විජයවර්ධන මහතාගේ පුවත්පත්වලින් සහයක් නොලැබිණි. මේ අභියෝගත් සමඟම මැතිවරණ ව්‍යාපාරය ගෙන යෑමට සිදුවූ අතර, ඒ සඳහා ජයවර්ධන මහතා භාවිත කළේ ගෙන් ගෙට යෑමේ ක්‍රමයයි.
මෙහිදී ජේ.ආර්. ජයවර්ධන මහතා තම මැතිවරණ කොට්ඨාසය වූ කැලණිය කොටස්වලට බෙදා එම කොටස්වල ප්‍රචාරණ කටයුතු තම සමීපතම ඥාතියකුට හෝ හිතවෙතකුට පැවරීය. ඊළඟට මැතිවරණ කොට්ඨාසය පුරා සෑම නිවෙසකටම ගොස් පෞද්ගලිකවම ඡන්දදායකයන් හමුවීමට කටයුතු කළේය. මේ සඳහා ඔහු තෝරාගත් මධ්‍යස්ථානය වූයේ එලීනා ජයවර්ධන සතු “මානෙල් වත්ත” නම් ඉඩම ය. මැතිවරණ ව්‍යාපාරයේදී එලීනා, ඇගේ මව, ඥාතින් ඇතුළු තරුණ ක්‍රියාකාරීන් ගෙයින් ගෙට ගොස් පෞද්ගලිකවම ඡන්දදායකයන් හමුවූහ. ඔවුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලදි. බොහෝ අවස්ථාවල කටුමැටි, පොල් අතු සෙවිලිකළ කුඩා පැල්පත්වලට පවා කොන්ද නමාගෙන ඇතුළු වීමත්, නිවැසියන්ට “ආයුබෝවන්” කියා සුහදව ඇමතීමත් සිදුවිය. තම ඡන්ද අපේක්ෂකයාගේ ඥාතීන්, ළඟම හිතවතුන් තම කුඩා ගෙපැලට පැමිණ කතාබහ කිරීම කැලණිය ජනතාවට ආකර්ෂණීය අත්දැකීමක් විය. වර්තමානයේ මෙය හැම අපේක්ෂකයකු විසින්ම ඉටු කරතත්, එකල මෙෙලස අපේක්ෂකයෝ තම නිවෙසට පැමිණීම නිසා ඡන්ද දායකයෝ පුදුමයට පත්වූහ. මේ තත්ත්වය ජේ.ආර්.ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සුවිශාල ලෙස දායක විය.
ජයවර්ධන මහතා මුහුණ දුන් තවත් දුෂ්කර අවස්ථාවක් වූයේ 1977 මැතිවරණයට පූර්ව අවස්ථාවයි. එකල පක්ෂයේ අභ්‍යන්තර අර්බුද රැසක් නිර්මාණය වී තිබිණි. කෙසේ වෙතත් 1973 වර්ෂයේදී පක්ෂ අභ්‍යන්තරයේ බලය තමා අතට ගත් ජයවර්ධන මහතා සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව සුක්ෂ්මව කටයුතු කරන්නට විය. සමගි පෙරමුණු ආණ්ඩුවේ බලය 1977 දක්වා දීර්ඝ කර ගැනීමට විරෝධය පා ඔහු 1975 දී ඉල්ලා අස්වී අතුරු මැතිවරණයකට මඟ දැමුවේය. අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයගත් ඔහු ආණ්ඩුව කෙරෙහි පැවැති විරෝධය තමන් දෙසට යොමු කර ගැනීමට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළේය. මෙහි පළමු සත්‍යග්‍රහය සාර්ථක කර ගැනීමට ජයවර්ධන මහතා සමත් විය.
සත්‍යග්‍රහය
මෙහි තෙවැන්න පැවැත්වීමට ජයවර්ධන මහතා තෝරාගත්තේ අත්තනගල්ලයි. සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ බළකොටුව වූ අත්තනගල්ලේ සත්‍යග්‍රහය පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට බලවත් අභියෝගයක් විය. මේ අනුව අත්තනගල්ලට එන මාර්ග අවහිර කිරීමට ඔවුහු කටයුතු කළහ.
එසේම අත්තනගල්ල ප්‍රදේශයට පැමිණෙමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැර ප්‍රහාර ද එල්ල කෙරිණි. මේ තත්ත්වය ජයවර්ධන මහතා කලින්ම බලාපොරොත්තුව පැවැති බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව එයට නිසි ලෙස සූදානම් වූ බව වාර්තා වේ. මෙහිදී සත්‍යග්‍රහයට පැමිණි ජයවර්ධන මහතාට පහර දීමට කිරිච්චියක් අතට ගත් අයකු උත්සාහ කර තිබිණි. එම අවස්ථාවේ දී ඔහුට සිනහවකින් සංග්‍රහ කළ ජේ. ආර්. ජයවර්ධන පිටට තට්ටු කරමින් සුහදව කතාබහ කර, ඔහු සමඟ බුදුන් වඳින්නට කටයුතු කරන ලදි. මෙසේ සුහදත්වයට පත් එම පුද්ගලයා ජයවර්ධන මහතාට කියා සිටියේ ඔබතුමා ලංකාවේ අගමැතිවරයා ලෙස පත්වීමට ඉඩ තිබෙන බවයි. මෙවැනි සුක්ෂ්ම කටයුතු රැසක් ජයවර්ධන මහතාගේ දේශපාලනයේ දී සිදුවිය.
කතාවක් කෙටියෙන් කළ යුතු බව මහත්මා ගාන්ධිතුමාගෙන් තමා ඉගෙනගත් බව වරෙක ජේ.ආර්. ජයවර්ධන මහතා පවසා තිබේ.
“එක දවසක් මා කිව්වා ගාන්ධිතුමාට දීර්ඝ කතාවක් කරන්න කියලා. එතුමා ගත් කටටම මට දුන්නු උත්තරය මෙහෙමයි. කතා කරන්න නැඟිට්ටාම හිටගන්න ඕනේ කිව්වා, ඔක්කොටම පෙනෙන්න. දැන් මම එහෙමයි හිටගෙන ඉන්නෙ. කතා කරන්න ඕනෙයි කිව්වා ඔක්කොටම ඇහෙන්න. දැන් මම එහෙමයි කතා කරන්නෙ. ඉක්මන් කරලා වාඩි වෙන්න කිව්වා ඔක්කොටම ඉක්මනට ප්‍රීති වෙන්න. එතුමා එහෙම කෙරුවා. ඒ කියන්නේ කෙටියෙන් කතා කරලා කෙටියෙන් ඉඳගත්තා. මට නම් එහෙම කරන්න බැහැ. අපි පුරුදු වෙලා තියෙනවා දීර්ඝව කතා කරන්න. නමුත් මම අනිත් කථිකයෝ වගේ පැයක් දෙකක් කතා කරන්නෙ නැහැ. මිනිත්තු 15ක්, මිනිත්තු 20ක්, වැඩියෙන්ම පැය භාගයයි මම කතා කරන්නෙ. යම් කෙනෙක් කියනවා නම් පැය භාගයක් මදි පැයක කතා කරන්න ඕනෙයි කියලා, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. මම කියනවා මෙහෙම: බුදු හාමුදුරුවෝ ‘ධම්ම චක්ඛ පවත්තන සූත්‍රය’ දේශනා කෙරුවෙ මිනිත්තු දහයකින්! ජේසුස් වහන්සේ ‘කන්ද උඩ දේශනාව’ මිනිත්තු පහකින් ඉවර කෙරුවා. මිනිත්තු පහකින් පුළුවන් ලෝකෙ හෙල්ලෙන විදියට කතා කරන්න. මට නම් එහෙම කතා කරන්න බැහැ….” ජයවර්ධන මහතා කතාවක් කළ යුතු ආකාරය එලෙස දක්වා තිබේ.
මැතිවරණ ව්‍යාපාරය
ජනාධිපතිවරයා මෙසේ කතාවේ ආකෘතිය, කාලය පිළිබඳ අදහස් දැක්වුවද ඔහුගේ කතාවේ අන්තර්ගතය ප්‍රතිවාදියාට හිතකර නොවිණි. මේ බවට නිදර්ශන ගණනාවක් ඉතිහාසයෙන් පෙන්නුම් කළ හැකිය. 1982 ජනාධිපතිවරණයේදී අනුර බණ්ඩාරනායක මහතාගේ කතාවක් භාවිත කරමින් ප්‍රතිවාදියා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ මැතිවරණ ව්‍යාපාරය බිඳ දැමීමට ක්‍රියා කළ ආකාරය මෙයින් එක් අවස්ථාවකි.
මෙහිදී සැලසුම්සහගතව ප්‍රතිවාදියා බිඳ දැමීමට ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි. සැලසුමට අනුව, අනුර බණ්ඩාරනායක මහතා කියා සිටියේ කොබ්බෑකඩුව මහතා 1982 මැතිවරණයේදී කරමින් සිටින්‍නේ “කොන්ත්‍රාත් එකක්” බව ප්‍රකාශ කළ යුතුව තිබිණි. අනුර බණ්ඩාරනායක මහතාගේ කතාවේදී කොබ්බෑකඩුව මහතා ජනාධිපති වූ පසු මැතිනියට ප්‍රජා අයිතිය ලබාදී ඇය ජනාධිපති කිරීමේ කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇති බව කියවිණි. මේ කතාව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මැනවින් සිය ප්‍රචාරක යන්ත්‍රණයට යොදා ගත්තේය.
පූර්ව මැතිවරණ ප්‍රචාරක අවිධියේ දිනක ජයවර්ධන ජනාධිපතිවරයා තම ප්‍රවෘත්ති ලේකම්වරයාව කැඳවීය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ යම්කිසි රැස්වීමකදී අනුර බණ්ඩාරනායක මහතා “කොබ්බෑකඩුව කරන්නේ කොන්ත්‍රාත් එකක්” බව කියනු ඇති බවත් ඒ සඳහා ජනමාධ්‍යවල පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කළ යුතු බවත් දැන්වීය. එමෙන්ම එය, එම අවස්ථාවේම තමන්ට දන්වන ලෙසත් දැන්වීය.
අදාළ ප්‍රකාශය අනුර බණ්ඩාරනායක මහතා කළ බව ප්‍රවෘත්ති ලේකම්වරයාට ආරංචිය ලැබෙන විට ජනාධිපතිවරයා සිටියේ වයඹ පළාතේය. පුවත ලද ජනාධිපතිවරයා ඊළඟ රැස්වීම පැවැත්වූ පොල්ගහවෙල නගරයේ දීම එය ප්‍රකාශය කිරීමට කටයුතු කරන ලදි.
“කොබ්බෑකඩුව මහතාට දී ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය යළි ලබාදීමේ කොන්ත්‍රාත්තුව පමණකැයි අනුර බණ්ඩාරනායක මහතා කියනවා. ඒකෙ තේරුම ඔහු කොන්ත්‍රාත්කාරයකු බවයි. කොබ්බෑකඩුව මහතා හරියට පාරවල් නඩත්තු කරන ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත්කාරයෙක් වගෙයි. ජනාධිපති පදවිය කොන්ත්‍රාත් එකක් නොවෙයි. ඒක රටේ ලොකුම විධායක තනතුරයි. ජනතාවටත් රටටත් සේවය කිරීමට පත්කර ගන්නා පුද්ගලයකුගේ කාර්ය කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම නොවෙයි.”
කොන්ත්‍රාත්කාරයා
මෙතැන් පටන් ජයවර්ධන මහතාගේ සෑම කතාවකටම මේ කොන්ත්‍රාත් කතාව කියැවිණි. ගුවන්විදුලිය, රූපවාහිනිය ඇතුළු සියලු මාධ්‍ය මේ සඳහා විශාල ප්‍රචාරයක් ලබාදුන්නේය. එපමණක් ම නොව, රැස්වීම්වලදී කථිකයන් කොබ්බෑකඩුව මහතාගේ නම සඳහන් කරන විට “කොන්ත්‍රාත්කාරයා” යනුවෙන් කෑ ගැසීමට පිරිස් යෙදවීමට ද සංවිධායකයෝ කටයුතු කළහ.
කෙසේ වෙතත් මේ කොන්ත්‍රාත්කාරයා කතාව කොබ්බෑකඩුව මහතාට ඔරොත්තු නොදිණි. ඔහුට එය ඉතා වේදනාකාරී ප්‍රකාශයක් වූ බව ඔහුගේ මරණයෙන් පසුව බිරිය විසින් කරන ලද ප්‍රකාශයකින් පෙනී යයි.
“මේ අවාසනාවන්ත කොන්ත්‍රාත් කතාවෙන් මගේ සැමියා දැඩිසේ සිත් වේදනාවට හා කම්පාවට පත්ව සිටියේය. මෙය තමන්ගේම පක්ෂයේ අය විසින් කරන ලද්දක් නිසා ඔහු දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියේය.”
මලික් චමින්ද ධර්මවර්ධන