Sunday, May 11, 2025
Home » දුරකතන කුලුනු සමාගමක හිටපු සේවකයන් 3ක් අත්අඩංගුවට
සන්නිවේදන කුලුනුවලින් රුපියල් කෝටියකට අධික බැටරි සොරාගත්

දුරකතන කුලුනු සමාගමක හිටපු සේවකයන් 3ක් අත්අඩංගුවට

by sachintha
September 18, 2024 3:02 am 0 comment

බස්නාහිර පළාතේ පොලිස් වසම් අටක දුරකතන සන්නිවේදන කුලුනු රැසකින් රුපියල් කෝටියකට ආසන්න බැටරි සොරාගත් සංවිධානාත්මක කල්ලියකට අයත් දුරකතන කුලුනු සමාගමක හිටපු සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

එම සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු අනුව එලෙස සොරාගෙන තිබූ විවිධ මිල ගණන් යටතේ පවතින බැටරි 34ක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

කොහුවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අපරාධ වැළැක්වීමේ රාජකාරියේ නිරතව සිටියදී නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5900ක් තිබී හමුවීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී 2022 වර්ෂයේ සිට සිදු කළ මෙම සංවිධානාත්මක සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අංගොඩ සහ රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව එම සැකකරුවන් තිදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කොහුවල, හෝමාගම, අතුරුගිරිය, මාලබේ, මහබාගේ, බොරැල්ල, නාරාහේන්පිට හා කුරුඳුවත්ත ආදි පොලිස් වසම් අටක දුරකතන කුලුනු දහයක බැටරි 34ක් සොරාගෙන ඒවා කළුතර, නාගොඩ, දොඩංගොඩ, නුගේගොඩ ආදී ප්‍රදේශවලට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුත් බැටරි, සෝලා පැනල් නිෂ්පාදනය කරන පුද්ගලයන් වෙතත් අනෙක් බැටරි පැරණි යකඩ අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා පුද්ගලයන් වෙතත් විකුණා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම කාලයකට පෙර දුරකතන කුලුනු සමාගමක හිටපු සේවකයන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නුගේගොඩ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.ඩී. නිලංග මහත්වරුන්ගේ උපදෙස් මත කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.සී.ඩී. කස්තුරිසිංහ පොලිස් සැරයන් (71426) ප්‍රභාත් පොලිස් කොස්තාපල්වරුන් වන (93753) නෙරන්ජන් (97438) නානායක්කාර (101825) දිල්හාර (23901) ලසන්ත (97280) රත්නායක කාන්තා පොලිස් කොස්තාපල් (12530) නිමේෂා මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT