Saturday, May 10, 2025
Home » ඩිල්ෂාන්ගේ දියණිය 19න් පහළ සංචිතයට ගියේ හොර පාරෙන්ද ? හරි පාරෙන් ද?

ඩිල්ෂාන්ගේ දියණිය 19න් පහළ සංචිතයට ගියේ හොර පාරෙන්ද ? හරි පාරෙන් ද?

by sachintha
September 18, 2024 1:53 am 0 comment

 

අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගමාලාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙරට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න තෝරාගැනීම සිදුවූයේ නියමිත උපමාන අනුව බවත්, ඇගේ දුර්ලභ පන්දු යැවීමේ ආකාරය ඊට හේතු වූ බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හේමන්ත දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ කිසිදු පාසලකට ක්‍රීඩා කර නැති ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ලිමන්සා 19න් පහළ ජාතික කාන්තා පිලට තෝරා ගැනීමට එකම හේතුව ඇය ඩිල්ෂාන්ගේ දියණිය වීම බවටත්, ක්‍රිකට් බලධාරීන්ගේ බලපෑම් මත ඇය කණ්ඩායමට ඇතුළත් කර ඇති බවටත් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකදීය.

ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටි ක්‍රීඩිකාවක ශ්‍රී ලංකාවේ සංචිතයකට තෝරා ගැනීමෙන් මෙරට දුෂ්කරතා රැසක් මැද පුහුණුව ලැබූ ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් වූයේ දැයි සොයා බැලිය යුතුව ඇතැයි ද, ඩිල්ෂාන්ගේ දියණියගේ ක්‍රීඩා හැකියාවත්, ඇය මෙරට පාසල් අධ්‍යාපනය ලබා තිබේදැයි විමසා බැලිය යුතුව ඇතැයි ද ප්‍රශ්න කරන මෙරට කාන්තා ක්‍රිකට් පුහුණුකරුවන් රැසක් ලිමන්සා තිලකරත්න සංචිතයට තෝරා ගැනීමේදී අනුගමනය කරනු ලැබූ උපමාන කවරේදැයි බලධාරින් විසින් ප්‍රකාශ කළ යුතුව ඇතැයි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

“ජාතික කණ්ඩායමක් තේරීමේදී අපට උපමාන තිබෙනවා. ඒ අනුව තමයි සංචිතය තෝරන්නේ. අදාළ තරගවාරයේ දැක්වූ දස්කම්වලට අනුව පාසල්වලින් හොඳම ක්‍රීඩිකාවන් ගන්නවා. ඊළඟට දිස්ත්‍රික් ටැලන්ට් සර්ච් එකක් කරනවා. ඒ කියන්නේ පාසල්, ක්‍රීඩා සමාජ හා පෞද්ගලික ඇකඩමි වගේ. පස්සේ පළාත් සංචිතයෙනුත් හොඳම ක්‍රීඩිකාවන් තෝරා ගන්නවා. අපි පළාත් 5ක තෝරා ගැනීම් ස්ථාන හතරක පැවැත්වෙනවා. දඹුල්ල, කුරුණෑගල, කොළඹ හා ගාල්ල වශයෙන්. ඒ අනුව ක්‍රීඩිකාවන් 38 දෙනකුගේ මූලික සංචිතයක් ගොඩනැඟුවා. ඩිල්ෂාන්ගේ දුව එතකොට නිවාඩුවට ඇවිත් හිටියා. එයා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුවීම්වලදී ‘නෙට් බෝලර්’ කෙනෙක් විදිහට කටයුතු කළා. එයා දකුණත් පිට දඟපන්දු යවන්නියක්. හරිම දුර්ලභ පන්දු යවන්නියක්. ගුග්ලිත් දානවා. අපේ ජාතික කාන්තා ටීම් එකේවත් එහෙම ක්‍රීඩිකාවක් නෑ. බංග්ලාදේශ ටීම් එකේ එහෙම පන්දු යවන්නියන් තුන්දෙනෙක්ම ඉන්නවා. දැන් නම් රශ්මිව හදාගෙන යනවා. ඒකයි අපි ‘චයිනමන්’ ශෂිනි ගිම්හානි වේලාසනින්ම ජාතික කණ්ඩායමට ගත්තේ. ඉතින් මේ වගේ දුර්ලභ හැකියාවක් ඇති ක්‍රීඩිකාවක් දැක්කම අපි ඉක්මනට ප්‍රමෝට් කරනවා.” හේමන්ත දේවප්‍රිය එසේ කීවේය.

ලිමන්සාගේ දුර්ලභ පන්දු යැවීමේ දස්කම් සම්බන්ධව තේරීම් කමිටු ප්‍රධානියා එසේ කීවද 19න් පහළ කාන්තා ක්‍රිකට් පුහුණුකරුවන් රැසක්ම විමසා සිටියේ ‘එයා ඔච්චර පොටෙන්ෂල් නම් ඇයි පුරවැසිභාවය තිබිලත් ඔස්ට්‍රේලියාවට ගහන්න බැරිවුණේ’ කියාය.

ලිමන්සාට දුර්ලභ පන්දු යැවීමේ හැකියාවක් තිබුණද, ඇය සංචිතයට ඇතුළත් කිරීම නියමිත ක්‍රියාපටිපාටියට අනුව සිදුවිය යුතු බැවින් ඇය දිස්ත්‍රික් හා පළාත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවිය යුතු බවට දැනුම්වත් කර තිබූ බව ද තේරීම් කමිටු ප්‍රධානියා කියා සිටියේය.

“දිස්ත්‍රික්, පළාත් දෙකම හොඳට කරලයි ලිමන්සා සංචිතයට ආවේ. අපි සිලෙක්ටර්ස්ලා පස් දෙනෙක් ඉන්නවා. පුහුණුකරුවන් ඉන්නවා. හැමෝම බලලයි සංචිතය තෝරන්නේ. 19න් පහළ සංචිතයට ලිමන්සා වගේ තව එක්කෙනයි ඉන්නේ. එයා නුවර මහමායා බාලිකාවේ අෂේනි තලගුණේ.” හේමන්ත දේවප්‍රිය කීවේය.

ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් යුතු සංචිතය 16 දක්වා ඉහළ දමා ඇත්තේ ලිමන්සා තිලකරත්න සංචිතයට ඇතුළත් කිරිමට බවට චෝදනා එල්ල වී තිබේ.

“අපිට ක්‍රීඩිකාවන් 16ක් යවන්න පුළුවනි. පහුගිය කාලයේ ඔස්ට්‍රේලියාවෙන් ආපු යොවුන් කාන්තා කණ්ඩායමෙත් ක්‍රීඩිකාවන් 16ක් හිටියා. ඔස්ට්‍රේලියාවේ තුන්කොන් තරගාවලියට එන නවසීලන්ත සංචිතයටත් ක්‍රීඩිකාවන් 16ක් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. අනික ඔස්ට්‍රේලියාව එක්ක අත්සන් කරපු අවබෝධතා ගිවිසුමට අනුව අපිට ක්‍රීඩිකාවන් 16 දෙනකුට අවසර ලැබිලයි තිබුණේ.” කාන්තා තේරීම් කමිටු ප්‍රධානියා එසේ කියා සිටියේය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT