Home » පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා සාර්ථකයි

පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා සාර්ථකයි

by chanaka
September 20, 2024 12:19 pm 0 comment

පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ‍තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) විධායක මණ්ඩලය සමඟ අද (20) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් යොමු කිරීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට අවශ්‍ය උපාය මාර්ගික වැඩපිළිවෙළ මේ වන විට සකස් කර තිබෙන බවත් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ එහි ප්‍රමුඛ අංගයක් බවත් සඳහන් කළේය.

රටවල් 20කට අධික ජාලයක් සමඟ සම්බන්ධ G20 සංවිධානයෙහි තරුණ ව්‍යවසායක සන්ධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට මේ වන විට තමන්ට හැකි වී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළ තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති විවිධ ව්‍යවසායක සංවර්ධන ව්‍යාපෘති සඳහා KPMG සහ PMI වැනි සංවිධාන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පැවසීය.

එසේම ආරම්භක අදියරේ පවතින සමාගම් සහ ව්‍යාපාර සඳහා ලබා ගැනීමට අපහසු ආධාර හා පහසුකම් කඩිනමින් ලබාදීමේ වැඩසටහනක් චෙන්නායිහි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සමඟ එක්ව දියත් කිරීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දුන්නේය.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඩුබායි සහ ඕස්ට්‍රේලියාව යන රටවල සිටින සිය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහාය ඇතිව එම රටවල වෙළඳ මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර පුළුල් කර ගැනීමට සහ දේශීය නිෂ්පාදන ගෝලීය වෙළඳපොළට ගෙන යාමට හැකි වැඩපිළිවෙලක්ද තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති බව ඔවුහු ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:

අප රටේ පැවැත්ම සඳහා, ජාත්‍යන්තර වෙළඳාම පුළුල් කිරීම සහ අපනයන වැඩි කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. මෙම ආර්ථික පරිවර්තනයට සහාය දැක්වීම සඳහා අප නව ආයතන පිහිටුවනවා. එය ඉදිරියට යාමට ඇති එකම මාර්ගයයි.

අප පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා අවසන් කළා. ඒ නිසා ඊළඟ තීරණාත්මක පියවර වන්නේ අපගේ බංකොලොත් භාවය නිල වශයෙන් ඉවත් කර ගැනීමයි. ඉන් පසුව රට ඉදිරියට ගෙන යන පුළුල් වැඩපිළිවෙළ අප ආරම්භ කරනවා.

අප අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් කරා ගමන් කරන විට, සියලු ක්‍රමවේදයන් සහ උපාය මාර්ග ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එම වැඩකොටස අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. කෘෂි නවීකරණය, සුහුරු කෘෂිකර්මාන්තය හඳුන්වාදීම සහ සේවා, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදනය ඇතුළු විවිධ අංශ විවෘත කිරීම පිළිබඳ අප සොයා බලමින් සිටිනවා. තනි පද්ධතියක් (single-window system) හඳුන්වාදීම මගින් මෙම මෙහෙයුම් විධිමත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලය පුරා අප ප්‍රමුඛතාව ලබාදී තිබුණේ බංකොලොත් භාවයෙන් ඉවත් වීම සඳහායි. දැන් ඒ පිළිබඳ සාකච්ඡා සිදු කර අවසන් වී තිබෙනවා. ඉදිරි මාසයක හෝ ඊට වැඩි කාලයක් ඇතුළත ඒ පිළිබඳ නිල පිළිගැනීම හිමිවෙනවා. ඒ සමඟින්, ඩොලර් බිලියන 10 – 15 ත් අතර ප්‍රමාණයකට ඇස්තමේන්තුගත කර ඇති ණය ගෙවීම් සඳහා සහන ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. අද පස්වරුව වන විට ඒ පිළිබඳ විධිමත් ප්‍රකාශයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් නිවැරදි සංඛ්‍යා දත්ත පැහැදිලිව දැකගත හැකිවනු ඇතියි. ඉන් පසුව අප රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ඇරඹිය යුතුයි.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තීක්ෂණ අබේවර්ධන යන මහත්වරුන් සහ තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) විධායක මණ්ඩල සාමාජිකයින් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT