පසුගිය දශක ගණනාවක් තිස්සේ මෙරට මහජන නියෝජිතයින් තෝරා පත්කර ගැනීම සඳහා පවත්වනු ලැබූ බොහෝ මැතිවරණවලදී අඩු වැඩි වශයෙන් පෙන්නුම් කරනු ලැබූයේ බලය ලබාගැනීමේ අරමුණින් සංවිධානාත්මකව මෙන්ම අසංවිධානාත්මකව ද ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමයි. නිදසුනක් වශයෙන් 1977 මහා මැතිවරණයේදී අටදහසකට අධික සංඛ්‍යාවක්ද 2015 අගෝස්තු මැතිවරණයේදී 1500කට ආසන්න සංඛ්‍යාවක් ද වශයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත. මෙයට අමතරව මැතිවරණ නීති කඩකිරීම් විශාල වශයෙන් වාර්තා වූ අතර, හොර ඡන්ද දැමීම, සංවිධානාත්මක කණ්ඩායම් විසින් මැර බලය යොදවා ඡන්ද පත්‍රිකා බලහත්කාරයෙන් පැහැරගෙන යාම් සහ ඡන්ද පෙට්ටි පැහැරගෙන යාම ආදිය සුලභ සිද්ධීන් විය. මෙම තත්ත්වය නිසාම මැතිවරණ නිරීක්ෂණය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබිණි.
කලින් කලට පවත්වන නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීම්වලදී පුරවැසියන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය මානව හිමිකම් විශ්ව ප්‍රකාශය මඟින් තහවුරු කර ඇති අයිතිවාසිකමකි. ප්රජාතන්ත්රවාදය පිළිබඳ විශ්වාස කළ සහ ඒ වෙනුවෙන් ක්‍රියා කළ මෙරට පුරවැසියන්, සිවිල් සංවිධාන මෙන්ම විදේශ රාජ්‍ය, නිදහස් සහ සාධාරණ මැතිවරණ සහ ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කරන අන්තර්ජාතික සංවිධාන ද පුරවැසියන්ට නිදහසේ තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිවාසිකම කඩවීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලකින් පසු වූ අතර ඒ පිළිබඳව අවධානයක් යොමු කරන ලදි. එම නිසා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ සමයන්හිදී මෙරට මැතිවරණ ක්‍රියාවලිය සහ එහි සාධාරණත්වය පිළිබඳ නිරීක්ෂණය සඳහා යොමු වීම සිදු වූ අතර, දේශීය සිවිල් සංවිධාන කිහිපයක් සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳ උනන්දුවක් දැක්වූ පුරවැසියන් ද මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වූහ. මුල් අවස්ථාවේදී මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මැදිහත් වූ ආයතන වශයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මානව හිමිකම් පිළිබඳ ප්‍රලේඛන මධ්‍යස්ථානය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය (CAFÉ), නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වන ජනතා ක්‍රියාකාරිත්වය (PAFFREL) මූලිකත්වය ගන්නා ලදි. පසුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රලේඛන මධ්‍යස්ථානය එක්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පිහිටුවා ගන්නා ලදී. මෙයට අමතරව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය, මානව අයිතිවාසිකම් සඳහා විද්වතුන්ගේ මැතිවරණ නිරීක්ෂණ ජාලය. මව්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය, මැතිවරණ නිරීක්ෂණය සඳහා වූ ස්වේච්ජා මුල පිරුම (VIEW), දිරිය පදනම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා දෙටු පුරවැසි සම්මේලනය ආදී සංවිධාන ගණනාවක් සැලකිය යුතු කාලයක පටන් මෙරට මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වේ. මෙයට දශක කිහිපයකට පෙර පැවති තත්ත්වය සමඟ වර්තමාන තත්ත්වය සැසඳීමේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව පෙනී යයි. නමුත්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ මැතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් සහ දේශපාලන කණ්ඩායම් විසින් යම් යම් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පවතින බවයි. නිදසුනක් වශයෙන් ගතහොත් මැතිවරණ සමයකදී අපේක්ෂකයින්ගේ හෝ පක්ෂවල ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පවතින මැතිවරණ නීති පිළිබඳ එම අපේක්ෂකයින් මෙන්ම පක්ෂ විසින් ද ඔවුන්ගේ ආධාරකරුවන් විසින් ද උල්ලංඝනය කිරීම් පෙන්වා දිය හැකිය. මැතිවරණවලදී අපේක්ෂකයින්ගේ ප්රචාරක දැන්වීම් සහ පුවරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පවතින නීතිය වන්නේ ඡන්ද රැස්වීම පැවැත්වෙන භූමියේ සහ අපේක්ෂකයාගේ හෝ පක්ෂයේ මැතිවරණ කාර්යාලවල හැර පොදු ස්ථානවල හෝ වාහනවල අපේක්ෂකයින් හෝ පක්ෂ ප්‍රවර්ධනය සඳහා වන දැන්වීම්, පුවරු හෝ පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කළ නොහැකි බවයි. නමුත් රටපුරා බොහෝ ප්‍රදේශවල පොදු ස්ථාන, ගොඩනැඟිලි, විදුලි කණු ආදියෙහි පක්ෂවල ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රවර්ධන දැන්වීම්, පෝස්ටර් සහ පුවරු ආදිය අලවා ඇති ආකාරයෙන් පෙනී යන්නේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින්, පක්ෂ හෝ ඔවුන්ගේ ආධාරකරුවන් මෙම නීතිමය කරුණු ගැන නොසලකා හැර හෝ අවධානයක් යොමු කර නොමැති බවයි. ඇතැම් නගරාසන්න ප්‍රදේශවල පොදු ස්ථානවල ඩිජිටල් පුවරු මඟින් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කිරීම මැතිවරණ නීති උල්ලංඝනයේ තවත් එක් ආකාරයකි. අපේක්ෂකයා ගමන් කරන වාහනයේ හැර වෙනත් වාහන ඇතුළත හෝ වාහන බඳෙහි හෝ කිසියම් ස්ථානයක අපේක්ෂකයාගේ ප්රචාරක කටයුතුවලට උපයෝගි කර ගන්නා පක්ෂ සලකුණු, අපේක්ෂක රුව සහිත පෝස්ටර් හෝ අංක වැනි කිසිවක් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ වැරැද්දක් ලෙස සැලකේ.
ඉහත කී සාම්ප්‍රදායික මැතිවරණ වැරදිවලට අමතරව, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රතිවාදී අපේක්ෂකයින් සම්බන්ධයෙන් අසත්‍ය හෝ විකෘති හෝ වෛරී ප්‍රකාශ ප්‍රචාරය කිරීම 2024 ජනාධිපතිවරණය තුළ පැහැදිලිව දැකගත හැකි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිදු කරන ආකාරයකි. මෙහි වඩාත් බරපතළ මෙන්ම ශෝචනීය තත්ත්වය වන්නේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුළ මේ ආකාරයෙන් අපේක්ෂක ප්‍රවර්ධනය හෝ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයින් අගතියට පත් කිරීම සඳහා කුඩා ළමුන් යොදා ගෙන නිර්මාණය කරන ලද වීඩියෝ ආදිය ප්රචාරයට පත් කිරීමයි. මෙය ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙන්ම මැතිවරණ ව්‍යාපාරයේ සදාචාරාත්මකභාවය පිළිබඳ බරපතළ ගැටලුවක් මතු කරනු ලබයි.
මෙයට අමතරව අපේක්ෂකයින් සඳහා සමබිමක් ඇති කිරීමේ අරමුණින් හඳුන්වා දෙන ලද මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳ පනතෙහි නීති මෙම ජනාධිපතිවරණ ජන්ද විමසීමේ සිට බලපැවැත්වේ. එම නිසා මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟතාවකට එළඹ ඇත්තේ එක් ජනාධිපති අපේක්ෂකයෙකු විසින් එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි මුදල ලෙස සැලකෙන රුපියල් 109.00ක් වන අවසර ලත් මුදල නැතහොත් සමස්ත ඡන්ද දායකයින් සඳහා වියදම් කළ හැකි මුදල වන රුපියල් 1,868,298,586.00 ඉක්මවා කිසියම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් වියදම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව පුරවැසියන්ට පවතී. මෙම පනත අනුව දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයින්ට මුදල් හෝ ද්‍රව්‍යමය ආධාර ලබාගත නොහැකි මූලාශ්‍ර ගණනාවක් පවතී. ඒ අතර රාජ්‍ය හෝ රාජ්‍ය ආයතන, රජය සතු කොටස් හිමි සමාගම්, විදේශ රටවල්, ජාත්‍යන්තර සංවිධාන, විදේශයක සංස්ථාගත කළ හෝ ලියාපදිංචි කළ මණ්ඩලයකින්, ඍජුව හෝ වක්‍රව විදේශ කොටස් හිමිකාරිත්වය 50% හෝ එයට වැඩි ප්‍රමාණයක් දරන ශ්‍රී ලංකාවේ සංස්ථාපිත කරන ලද සමාගමකින් හෝ අනන්‍යතාව හෙළි නොකරන ලද පුද්ගලයින් ඇතුළත් වේ. මෙම මැතිවරණ වියදම් නියාමන පනතෙහි පවතින විශේෂත්වය වන්නේ මේ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ හැකියාව ඇත්නම් ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකු වුවද අධිකරණය හමුවේ විභාගයට ගනු ලබන නඩුවකදී වැරදිකරුවෙකු වුවහොත් ජයග්‍රාහී අපේක්ෂකයාගේ අසුන අවලංගු කිරීමට ඇති හැකියාවයි. මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට මේ සියලු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම නිරීක්ෂණය තනිව සිදු කළ නොහැකි අතර, ඒ සඳහා පුරවැසි සහයෝගය අත්‍යවශ්‍ය වේ. පුරවැසි සහයෝගය මත පමණක් ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින්ට සමබිමක් නිර්මාණය කර දීමට හැකි වේ. මේ නිසා මැතිවරණ ව්‍යාපාරය සාධාරණ වීමට නම් එක් එක් අපේක්ෂකයාගේ, පක්ෂයේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අවධානයෙන් පසුවීමත් මැතිවරණ නීති උල්ලංඝනය වේ යැයි හෝ එසේ වීමට ආසන්න බවට හැඟෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පොලිසිය, මැතිවරණ කොමිෂන් සභාව, දිස්ත්‍රික්කයේ තේරීම් හාර නිලධාරි හෝ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දැනුවත් කිරීම පුරවැසි යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.
රුවන් පුෂ්පකුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය