Home » 2024 ජන සතු සේවා මලල ක්‍රීඩා උලෙළේ දී සමස්ත ශූරතාව ලංකා බැංකුවට

2024 ජන සතු සේවා මලල ක්‍රීඩා උලෙළේ දී සමස්ත ශූරතාව ලංකා බැංකුවට

by damith
September 21, 2024 1:20 am 0 comment

ජන සතු සේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජන සතු සේවා මලල ක්‍රීඩා උලෙළ 2024 අගෝස්තු මස 01 සහ 02 යන දිනවල කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවයට ජන සතු සේවා මලල ක්‍රීඩා සංගමයේ ගරු සභාපති, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන බැංකු කටයුතු හා ශාඛා ණය මෙහෙයුම් – කලාප II) ආර්. එම්. එන්. ජීවන්ත, සහකාර මහා කළමනාකරු (අලෙවි) බුද්ධික ප්‍රේමරත්න, සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත – උතුර) සුදත් ලියනගේ, සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත – මධ්‍යම) කැලුම් ගජනායක සහ සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත – දකුණ) ඩී. අසංක යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ. එහිදී කාන්තා සහ පිරිමි ශූරතා දෙක ම ඇතුළුව තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලංකා බැංකු මලල ක්‍රීඩා කණ්ඩායම සමත් විය.

ජන සතු සේවා මලල ක්‍රීඩා සංගමය 52 වන වරටත් සංවිධානය කළ මෙවර තරගාවලිය සඳහා රාජ්‍ය ආයතන 39ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙදහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. එහිදී සමස්ත ලකුණු 329ක් ලබා ගත් ලංකා බැංකු කණ්ඩායම වසර 17කට පසු සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව මෙවර තරගාවලියේ දී ලංකා බැංකු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව තරග වාර්තා කිහිපයක් පිහිටුවීමට සමත් වීම ද විශේෂත්වයකි. මෙවර ජන සතු සේවා මලල ක්‍රීඩා උලෙළේ විවෘත කාණ්ඩය යටතේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලංකා බැංකු වාල්වෙට්ටිතුරායි ශාඛාවේ එස්. ඩී. ඩිලක්ෂිනී ක්‍රීඩිකාව සමත් වූ අතර, එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වීමට ලංකා බැංකු කල්පිටිය ශාඛාවේ නඳුන් ප්‍රනාන්දු ක්‍රීඩකයා සමත් විය. එමෙන් ම මෙවර ක්‍රීඩා උලෙළේ වයස අවුරුදු 30-34 වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වීමට ලංකා බැංකු මීගමුව නගර ශාඛාවේ සුමුදු ජයසේකර ක්‍රීඩිකාව සමත් වූ අතර, වයස අවුරුදු 40-44 වයස් කාණ්ඩය යටතේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වීමට ලංකා බැංකු මහනුවර (II) නගර ශාඛාවේ සෞම්‍යා ගුණරත්න ක්‍රීඩිකාව සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT