Home » ව්‍යාජ වාහන අමතර කොටස්වලට එරෙහිව පියවර

ව්‍යාජ වාහන අමතර කොටස්වලට එරෙහිව පියවර

by damith
September 21, 2024 1:18 am 0 comment

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයෙහි සභාපති, විරාන් ද සොයිසා මහතා සහ සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි නිර්මාතෘ සහ කළමනාකාර හවුල්කරු සුදත් පෙරේරා මහතා.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් නීතිය පිළිබඳ විශේෂඥතාවක් ඇති ශ්‍රී ලංකාවේ කීර්තිමත් නීති සමාගමක් වන සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය විසින් පසුගිය දා CMTA සාමාජිකයින් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්විය. මෙම වැඩසටහන මඟින් මූලික වශයෙන් අවධානය යොමු කරන ලද්දේ ඉහළ යන ව්‍යාජ වාහන අමතර කොටස් වෙළඳපොළට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවයි.

මෙම සැසියේදී, සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය විසින් CMTA සාමාජිකයින්ට ව්‍යාජ අමතර කොටස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ විශ්ලේෂණයක් ලබා දෙන ලදි. පාරිභෝගිකයින් සහ ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ක්ෂේත්‍ර පාර්ශ්වකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අතර හොඳ සහයෝගිතාවයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කරන ලදි.ව්‍යාජ කොටස් හඳුනා ගැනීමට අපහසු වන්නේ ඒවා ව්‍යාජ නොවන බව පෙනීම සඳහා අනුකරණය කරන ලද ලාංඡන සහ ඇසුරුම් භාවිත කරන බැවිනි. මෙය විශේෂයෙන්ම වාහන, ට්‍රක් රථ සහ යතුරුපැදි සඳහා යොදා ගන්නා තිරිංග පෑඩ් වැනි ආරක්‍ෂිත කොටස් සඳහා ඉතාම තීරණාත්මක වේ. බොහෝ විට, මෙම ව්‍යාජ කොටස් අවශ්‍ය ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලීමට අසමත් වන අතර එමඟින් පාරිභෝගිකයින් සහ මාර්ග භාවිත කරන්නන් අනතුරට පත් වීමේ අවදානමකට ලක් කරයි.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයෙහි සභාපතිවරයා වන විරාන් ද සොයිසා මහතා,

“Toyota සහ Honda සමාගම් විසින් නීති විරෝධී ලෙස අමතර කොටස් අලෙවියට එරෙහිව මෑතකාලීනව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව දැනගත් පසු අප සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ආරම්භ කළා. මෙම නීතිවිරෝධී කොටස් විකිණීම අවම කිරීමට සහ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අප සහයෝගයෙන් කටයුතු කිරීම සහ අනුගමනය කළ හැකි නීතිමය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීම අත්‍යවශ්‍ය වෙනවා. ” යනුවෙන් අදහස් දැක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT