ජාතක කතා පාලියේ ඒකක නිපාතයේ ඉත්ථි වග්ගයේ එන කතාවක් පදනම් කරගෙන අද මේ තීරුව ලියවෙන්නේය. ඡන්දය යනු ධර්මයට අනුකූලව අගතියට නොයා යුතු කාරණයකි. අද පැවැත්වෙන ඡන්දයෙන් නම් සමාජයම අන්තයට ගොස් අවසාන හෙයින් සහ මේ ඡන්දය සහ ධර්මයේ සඳහන් ඡන්දය අතර වෙනසක් ඇත්තේ බැවින්ද ඡන්දය දවසේ බණ කතාවක්මැ මාතෘකාව ලෙස තෝරා ගැනීම යෙහෙකිය.
එක් සමයෙක්හි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක්. එක්තරා දනව් වාසී ස්ත්‍රියක් අරභයා මෙම ජාතකය වදාළ සේක.
කොසොල් දනව්වේ, වනයක් සමීපයෙහි පිරිසක් සීසාමින් සිටියහ. වනය තුළ වසන්නා වූ සොරු සමූහයක් කොල්ල කා, සීසාන ප්‍රදේශය අසලින් පලා යන්නෝය. රාජ පුරුෂයෝ ඒ සොයා විත් ‘තොපි වනය අසල හිඳ කොල්ල කා සීසා ඇවිදු දැයි’ කියා සීසානා තැනට විත් තිදෙනා බැඳගෙන ගොස් කොසොල් රජතුමාට පාවා දුන්නාහු ය. කොයි කාලයේත් පොලීසිය සොරු අල්ලන්නේ ඔය තාලයටය. සැකය පිට සමහර විට අත්අඩංගුවට ගන්නේ, අසලින් ගිය පිරිස්ය. මේ කාලයේ නම් සීසීටීවී කැමරා දසත සවි කර ඇත්තේය. කොල්ලය හෝ අනතුර වූ සැණින් පොලීසිය එම දර්ශන නරඹා පුද්ගලයා හඳුනාගෙන වැඩේ පටන් ගන්නේය. එසේ තිබියදී පවා සමහර විට අල්ලාගන්නේ අහල පහල සිටියවුන් නම්, කොසොල් රටේ ඒ කාලයේ මේ ආකාරයේ ඇදගෙන යෑමක් අරුමයක් නොවන්නේය.
කොසොල් රජතුමා මේ නඩුව විමසන කල්හි, ස්ත්‍රියක් ‘මට වස්ත්‍රය දෙව’ යි කියා හඬමින් රජ මාලිගාව වටා ඇවිදිමින් කලබලයක් ඇති කළාය. මේ සද්දය මැද්දේ නඩු අසනු නොහැකි හෙයින් රජ තෙමේ, ඇයට වස්ත්‍රයක් ලබා දෙන්න යැයි කියා යළි නඩුව ඇසීමට පටන් ගත්තේය. රාජ පුරුෂයෝ වස්ත්‍රයක් ගෙන ඇය සමීපයට ගියහ. ඒ ස්ත්‍රී වස්ත්‍රය දැක ‘මම මේ වස්ත්‍රය නොයිල්ලුවෙමි. “පුරුෂ වස්ත්‍රයක් ඉල්වීමි” පැවසුවාය. රාජ පුරුෂයෝ රජතුමාට “ස්වාමිනී මේ ස්ත්‍රිය පුරුෂ වස්ත්‍රයක් වුවමනායැ’ යි කියයි” යනුවෙන් දැනුම් දුන්නෝ ය. එකල්හි රජතුමා ස්ත්‍රිය සමීපයට කැඳවාගෙන ‘තී පුරුෂ වස්ත්‍රයක් වුවමනා යැයි යාඥා කරන්නේදැ’ යි විචාළේය. ‘එසේය දේවයන්වහන්ස’ ස්ත්‍රියට වල්ලභයා නම් වස්ත්‍රය හා සමානය. පුරුෂයා නැති කල්හි දහසක් මිල වටිනාවත් වස්ත්‍රයක් හැඳගෙන සිටින්නා වූ ස්ත්‍රී තොමෝ නග්න වූවාහු නම් වෙයි’ යැයි ඕ පිළිවදන් දුන්නාය.
රටේ තීරණාත්මක ඡන්දය දිනයේ මේ තීරුව වස්ත්‍රය මාතෘකාවට ගත්තා නොවේ. ‘ස්ත්‍රියට සැමියා වස්ත්‍රයක් වැන්න’ සේම මේ ජාතකයේ තව තැනක රටකට රජා වස්ත්‍රයක් වැන්න යැයිද සඳහන් වන්නේය.
ඉදිරි පස් වසර සඳහා වූ වස්ත්‍රය අප අද ඇඳගැනීමට සැරසෙන්නේය. රජා වූ කලී රාජ්‍යයේ මුහුණය. එය රාජ්‍යයේ සියලු පෞරුෂය දරා සිටින්නේය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන ඡන්ද පොළ වෙත පිවිසෙන දන වනාහි මේ දේශය සඳහා වස්ත්‍රය ගොතනා වූ පිරිසය.
‘හුචක්කුව’ නම් වස්ත්‍රයක් ඇත්තේය. එය සරුවාලය සහ කොට කලිසම දෙමුහුන් වූ කලෙක මෙනි. අත්‍යාවශ්‍ය අඩුම කුඩුම වැසී යන පරිදි ඇඳිය හැක්කේ බැවින් එය ද ඇඳුමකි; වියදම අඩුය; චාම්ය; සරලය ආදී ලෙස විග්‍රහ කරමින්, හුචක්කුව හැඳ යමෙක් මගුල් ගෙදරකට තියා දන්නා කියන ගේකට යන්නේ නැත. සමහරු අද දවසේ රට සරසවන්න හදන්නේ හුචක්කුවෙනි. තව පිරිසක් රටේ වස්ත්‍රය ලෙස ඔහේ රෙද්දක් පෙරවීමට තැත් කරති. බෙඩ් ෂීට් එකක් ගෙන ඔළුවේ සිට පාදන්තය දක්වා පොරවා, අප ඇදේ සිටින්නේය. එහෙම කියා, උදේ පාන්දර ඇදෙන් බැස, බෙඩ් ෂීට් එක පොරවාගෙන, කඩේට පාන් ගැනීම සඳහා කවුරුවත් යන්නේ නැත.
මේ සියල්ල කියාපාන්නේ වස්ත්‍රය යනු පුද්ගලික උපාංග වසා ගැනීමට එහා ගිය යමක් බවය. ඇඳුම යන්න පළමු දැක්ම සඳහා වැදගත් අර්ථයක් ලබා දෙන්නකි. එය, තෙමේ කවුරුන්දැයි කියා පෑම සඳහා වචනයෙන් තොරව ලබා දිය හැකි සංඥාවකි. පොතට කලින් පිටකවරය බැලීම යන්න අද දවසේ යම් උපහාසයක් ලෙස සඳහන් වන්නේය. එසේ වුවද කවරය අවුල් කර ගත් කළ, පොතේ අන්තර්ගතය සඳහා මිනිස්සු සිත් යොමනවා අඩුය. ‘කඩමලු ඇන්දත් රන්කඳ බබළනවා’ යැයි කාව්‍යෝක්ති ලෙස ගතිය. එහෙත් සත්‍ය ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් තැනකය. රටේ වස්ත්‍රය ද එවැනිය. එය සැරසිය යුත්තේ අත්දැකීම් සහිත නම් පට සේලය, නායකත්වය නම් කබාය, වියත්බව සහ එහි භාවිතාව නම් කලිසම ආදියෙනි. එවන් වස්ත්‍රයක් රටට මහගන්නේ, අප අද ලබාදෙන ඡන්දය ප්‍රකාරවය.
මියුචියා ප්‍රාඩා වනාහි ඉතාලි ජාතික බිලියනපතිනියකි. ඇය ලෝකයේ අග්‍රගණ්‍ය විලාසිතා නිර්මාණ ශිල්පිනියකි. ප්‍රාඩා ලකුණ දරන ඇඳුම් සහ අනෙකුත් භාණ්ඩ යනු ලෝකයේ මිල අධිකම විලාසිතා භාණ්ඩ වන්නේය. මියුචියා ඇඳුම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය, දේශයට වස්ත්‍රය අන්දවන අද දිනයේදී මේ රටේ ජනතාවට වැදගත්ය.
“ඔබ අඳින්නේ ඔබව ලෝකයට ඉදිරිපත් කරන ආකාරයයි. මිනිස් සම්බන්ධතා යනු ඉක්මන් අවබෝධයක් බවට අද පත්ව ඇත්තේය. විලාසිතා යනු ක්ෂණික භාෂාවකි. ”
මේ ආකාරයෙන් අද දවස අප තේරුම් ගත යුත්තේය.