Friday, May 9, 2025
Home » ඔබේ ඡන්දය දේශයේ වස්ත්‍රය වෙනවා ඇත

ඔබේ ඡන්දය දේශයේ වස්ත්‍රය වෙනවා ඇත

by damith
September 21, 2024 1:00 am 0 comment

ජාතක කතා පාලියේ ඒකක නිපා­තයේ ඉත්ථි වග්ගයේ එන කතා­වක් පද­නම් කර­ගෙන අද මේ තීරුව ලිය­වෙ­න්නේය. ඡන්දය යනු ධර්ම­යට අනු­කූ­ලව අග­ති­යට නොයා යුතු කාර­ණ­යකි. අද පැවැ­ත්වෙන ඡන්ද­යෙන් නම් සමා­ජ­යම අන්ත­යට ගොස් අව­සාන හෙයින් සහ මේ ඡන්දය සහ ධර්මයේ සඳ­හන් ඡන්දය අතර වෙන­සක් ඇත්තේ බැවින්ද ඡන්දය දවසේ බණ කතා­වක්මැ මාතෘ­කාව ලෙස තෝරා ගැනීම යෙහෙ­කිය.

එක් සම­යෙක්හි තිලෝ­ගුරු බුදු­ර­ජා­ණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක්. එක්තරා දනව් වාසී ස්ත්‍රියක් අර­භයා මෙම ජාත­කය වදාළ සේක.

කොසොල් දනව්වේ, වන­යක් සමී­ප­යෙහි පිරි­සක් සීසා­මින් සිටි­යහ. වනය තුළ වසන්නා වූ සොරු සමූ­හ­යක් කොල්ල කා, සීසාන ප්‍රදේ­ශය අස­ලින් පලා යන්නෝය. රාජ පුරු­ෂයෝ ඒ සොයා විත් ‘තොපි වනය අසල හිඳ කොල්ල කා සීසා ඇවිදු දැයි’ කියා සීසානා තැනට විත් තිදෙනා බැඳ­ගෙන ගොස් කොසොල් රජ­තු­මාට පාවා දුන්නාහු ය. කොයි කාල­යේත් පොලී­සිය සොරු අල්ලන්නේ ඔය තාල­ය­ටය. සැකය පිට සම­හර විට අත්අ­ඩං­ගු­වට ගන්නේ, අස­ලින් ගිය පිරිස්ය. මේ කාලයේ නම් සීසී­ටීවී කැමරා දසත සවි කර ඇත්තේය. කොල්ලය හෝ අන­තුර වූ සැණින් පොලී­සිය එම දර්ශන නරඹා පුද්ග­ලයා හඳු­නා­ගෙන වැඩේ පටන් ගන්නේය. එසේ තිබි­යදී පවා සම­හර විට අල්ලා­ගන්නේ අහල පහල සිටි­ය­වුන් නම්, කොසොල් රටේ ඒ කාලයේ මේ ආකා­රයේ ඇද­ගෙන යෑමක් අරු­ම­යක් නොව­න්නේය.

කොසොල් රජ­තුමා මේ නඩුව විම­සන කල්හි, ස්ත්‍රියක් ‘මට වස්ත්‍රය දෙව’ යි කියා හඬ­මින් රජ මාලි­ගාව වටා ඇවි­දි­මින් කල­බ­ල­යක් ඇති කළාය. මේ සද්දය මැද්දේ නඩු අසනු නොහැකි හෙයින් රජ තෙමේ, ඇයට වස්ත්‍ර­යක් ලබා දෙන්න යැයි කියා යළි නඩුව ඇසී­මට පටන් ගත්තේය. රාජ පුරු­ෂයෝ වස්ත්‍ර­යක් ගෙන ඇය සමී­ප­යට ගියහ. ඒ ස්ත්‍රී වස්ත්‍රය දැක ‘මම මේ වස්ත්‍රය නොයි­ල්ලු­වෙමි. “පුරුෂ වස්ත්‍ර­යක් ඉල්වීමි” පැව­සු­වාය. රාජ පුරු­ෂයෝ රජ­තු­මාට “ස්වාමිනී මේ ස්ත්‍රිය පුරුෂ වස්ත්‍ර­යක් වුව­ම­නායැ’ යි කියයි” යනු­වෙන් දැනුම් දුන්නෝ ය. එකල්හි රජ­තුමා ස්ත්‍රිය සමී­ප­යට කැඳ­වා­ගෙන ‘තී පුරුෂ වස්ත්‍ර­යක් වුව­මනා යැයි යාඥා කර­න්නේදැ’ යි විචා­ළේය. ‘එසේය දේව­ය­න්ව­හන්ස’ ස්ත්‍රියට වල්ල­භයා නම් වස්ත්‍රය හා සමා­නය. පුරු­ෂයා නැති කල්හි දහ­සක් මිල වටි­නා­වත් වස්ත්‍ර­යක් හැඳ­ගෙන සිටින්නා වූ ස්ත්‍රී තොමෝ නග්න වූවාහු නම් වෙයි’ යැයි ඕ පිළි­ව­දන් දුන්නාය.

රටේ තීර­ණා­ත්මක ඡන්දය දිනයේ මේ තීරුව වස්ත්‍රය මාතෘ­කා­වට ගත්තා නොවේ. ‘ස්ත්‍රියට සැමියා වස්ත්‍ර­යක් වැන්න’ සේම මේ ජාත­කයේ තව තැනක රට­කට රජා වස්ත්‍ර­යක් වැන්න යැයිද සඳ­හන් වන්නේය.

ඉදිරි පස් වසර සඳහා වූ වස්ත්‍රය අප අද ඇඳ­ගැ­නී­මට සැර­සෙ­න්නේය. රජා වූ කලී රාජ්‍යයේ මුහු­ණය. එය රාජ්‍යයේ සියලු පෞරු­ෂය දරා සිටි­න්නේය. නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාව රැගෙන ඡන්ද පොළ වෙත පිවි­සෙන දන වනාහි මේ දේශය සඳහා වස්ත්‍රය ගොතනා වූ පිරි­සය.

‘හුච­ක්කුව’ නම් වස්ත්‍ර­යක් ඇත්තේය. එය සරු­වා­ලය සහ කොට කලි­සම දෙමු­හුන් වූ කලෙක මෙනි. අත්‍යා­වශ්‍ය අඩුම කුඩුම වැසී යන පරිදි ඇඳිය හැක්කේ බැවින් එය ද ඇඳු­මකි; විය­දම අඩුය; චාම්ය; සර­ලය ආදී ලෙස විග්‍රහ කර­මින්, හුච­ක්කුව හැඳ යමෙක් මගුල් ගෙද­ර­කට තියා දන්නා කියන ගේකට යන්නේ නැත. සම­හරු අද දවසේ රට සර­ස­වන්න හදන්නේ හුච­ක්කු­වෙනි. තව පිරි­සක් රටේ වස්ත්‍රය ලෙස ඔහේ රෙද්දක් පෙර­වී­මට තැත් කරති. බෙඩ් ෂීට් එකක් ගෙන ඔළුවේ සිට පාද­න්තය දක්වා පොරවා, අප ඇදේ සිටි­න්නේය. එහෙම කියා, උදේ පාන්දර ඇදෙන් බැස, බෙඩ් ෂීට් එක පොර­වා­ගෙන, කඩේට පාන් ගැනීම සඳහා කවු­රු­වත් යන්නේ නැත.

මේ සියල්ල කියා­පාන්නේ වස්ත්‍රය යනු පුද්ග­ලික උපාංග වසා ගැනී­මට එහා ගිය යමක් බවය. ඇඳුම යන්න පළමු දැක්ම සඳහා වැද­ගත් අර්ථ­යක් ලබා දෙන්නකි. එය, තෙමේ කවු­රු­න්දැයි කියා පෑම සඳහා වච­න­යෙන් තොරව ලබා දිය හැකි සංඥා­වකි. පොතට කලින් පිට­ක­ව­රය බැලීම යන්න අද දවසේ යම් උප­හා­ස­යක් ලෙස සඳ­හන් වන්නේය. එසේ වුවද කව­රය අවුල් කර ගත් කළ, පොතේ අන්ත­ර්ග­තය සඳහා මිනිස්සු සිත් යොම­නවා අඩුය. ‘කඩ­මලු ඇන්දත් රන්කඳ බබ­ළ­නවා’ යැයි කාව්‍යෝක්ති ලෙස ගතිය. එහෙත් සත්‍ය ඇත්තේ ඊට ඉඳු­රාම වෙනස් තැන­කය. රටේ වස්ත්‍රය ද එවැ­නිය. එය සැර­සිය යුත්තේ අත්දැ­කීම් සහිත නම් පට සේලය, නාය­ක­ත්වය නම් කබාය, විය­ත්බව සහ එහි භාවි­තාව නම් කලි­සම ආදි­යෙනි. එවන් වස්ත්‍ර­යක් රටට මහ­ගන්නේ, අප අද ලබා­දෙන ඡන්දය ප්‍රකා­ර­වය.

මියු­චියා ප්‍රාඩා වනාහි ඉතාලි ජාතික බිලි­ය­න­ප­ති­නි­යකි. ඇය ලෝකයේ අග්‍ර­ගණ්‍ය විලා­සිතා නිර්මාණ ශිල්පි­නි­යකි. ප්‍රාඩා ලකුණ දරන ඇඳුම් සහ අනෙ­කුත් භාණ්ඩ යනු ලෝකයේ මිල අධි­කම විලා­සිතා භාණ්ඩ වන්නේය. මියු­චියා ඇඳුම සම්බ­න්ධ­යෙන් සිදු කළ ප්‍රකා­ශය, දේශ­යට වස්ත්‍රය අන්ද­වන අද දින­යේදී මේ රටේ ජන­තා­වට වැද­ගත්ය.

“ඔබ අඳින්නේ ඔබව ලෝක­යට ඉදි­රි­පත් කරන ආකා­ර­යයි. මිනිස් සම්බ­න්ධතා යනු ඉක්මන් අව­බෝ­ධ­යක් බවට අද පත්ව ඇත්තේය. විලා­සිතා යනු ක්ෂණික භාෂා­වකි. ”

මේ ආකා­ර­යෙන් අද දවස අප තේරුම් ගත යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT