සාගර සම්පත් හා ජෛව විවිධත්වය සුරැකීමේ ගෝලීය සාගර ගිවිසුම (Global Ocean Treaty) අනුමත කිරීම සම්බන්ධව කටයුතු කරන මෙන් ජනපති අපේක්ෂකයන් සියලු දෙනා වෙත ලිපියක් යොමු කරමින් ග්‍රීන්පීස් දකුණු ආසියාතික කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.
මේ ක්‍රියාවලිය සඳහා ගෝලීය දේශපාලන සහයෝගය පෙන්නුම් කරමින් රටවල් 92ක් මේ ගිවිසුමට අත්සන් කර තිබේ.රටවල් 8ක් විසින් එය අනුමත කරනු ලැබ තිබෙන නමුත් ශ්‍රී ලංකාව තවමත් එහි කොටසක්කරුවකු වී නැති බව ග්‍රීන්පීස් ආසියාතික කාර්යාලය පවසයි.
ජනපති අපේක්ෂකයන් වෙත එම ආයතනය යොමු කළ ලිපියේ මෙසේද සඳහන්ය.ජාතික අධිකරණ බලයෙන් ඔබ්බට සාගර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම හෙවත් BBNJ ( Biodiversity Beyond National Jurisdiction)ගිවිසුම ලෙස ද හඳුන්වනු ලබන එක්සත් ජාතීන්ගේ ගෝලීය සාගර ගිවිසුම” අපරානුමත කිරීම සලකා බැලීම දැඩි අවශ්‍යතාවක් බවට පත්ව ඇත.අපගේ දේශගුණය නියාමනය කිරීම,බිලියන සංඛ්‍යාත ජනතාවට ආහාර සහ ජීවනෝපාය සැපයීම මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන ගෝලීය ජීවින් බොහෝමයකට සාගරය නිවහන වෙයි.දශක ගණනාවක සිට ධීවර කටයුතු කාර්මිකරණය වීම,සමුද්‍ර දූෂණය,තෙල් කැණීම් සහ තවත් බොහෝ ක්‍රියා හේතුවෙන් සාගර පරිසරය අර්බුදයකට ඇද දමා තිබේ.
ගෝලීය පොදු දේපොළ ඵලදායි ලෙස ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම, සීමා සහිත වූ දැනුවත් කිරීම්වල පැහැදිලි නීති නොමැතිකම ආදි හේතූන් ද දේශගුණික විපර්යාසවල බලපෑම නිසා සංකීර්ණ වූ සම්පත් අධිභාවිතය ද සාගර දූෂණයට ඉහළ යෑමට බලපා ඇත. මහ මුහුද සුරක්ෂිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඓතිහාසික ගෝලීය සාගර ගිවිසුම” සඳහා 2023 මාර්තු මස එකඟතාවකට එළඹිණි. එම වසරෙහි ජුනි මාසයේදී මෙය සම්මත වූ අතර සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී අත්සන් සඳහා එය විවෘත විය. විවිධ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර සබඳතා ගැඹුරට පළුදු වී ඇති මෙවන් අවස්ථාවක උක්ත ගිවිසුම බහුපාර්ශ්විකත්වයේ දුර්ලභ ජයග්‍රහණයක් නියෝජනය කරයි. ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීම උදෙසා ලෝකයට තවමත් එක්සත් විය හැකි බවත් පෘථිවිය අප සැමට ජිවත් විය හැකි අයුරින් රැක ගැනීමට හැකි බවත් මෙමගින් ඔප්පු කරන බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.
දැනට මහ මුහුදෙන් නිසි ලෙස ආරක්‍ෂා වී ඇත්තේ 1% කටත් වඩා අඩු ප්රමාණයකි. විද්‍යාඥයින් පවසන්නේ 2030 වන විට අවම වශයෙන් සාගර වලින් 30% ක් ආරක්ෂා කර ගැනීමට නම් ජෛව විවිධත්වයට සිදුවන හානිය සහ දේශගුණික විපර්යාස මගින් ඇතිවන බලපෑම අවම මට්ටමක පවත්වාගෙන යායුතු බවයි. අදාළ ඉලක්කය වෙත ළඟාවීමට සඳහා බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට නම් 2025 ජුනි මාසයේදී ප්‍රංශයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවේ දී මේ ගිවිසුම රටවල් 60 ක් විසින් අනුමත කළ යුතුය.මේ සඳහා අත්සන් තැබීම රටවල් විසින් ප්‍රමාද කරන තරමට සාගරය මුහුණ දී ඇති අර්බුදය තවත් උග්‍ර වනු ඇත.